×
මුහම්මද් එතුමාණන් පිළිබඳව පැරණි ප්රةතික්ෂේප කරන්නන් මෙන් නුතන ඉස්ලාම් විරෝධීන් ද මතු කිරීම සැබැවින්ම හාස්ය ජනකය.

    ආයිෂා (රලි) තුමියගේ විවාහය පිළිබඳ විග්‍රහයක්

    ] සිංහල – Sinhala –[ سنهالي

    මුහම්මද් මන්සූර් දහ්ලාන්

    2013 - 1434

    زواج عائشة رضي الله عنها

    « باللغة الإسبانية »

    محمد منصور دحلان

    2013 - 1434

    ආයිෂා (රලි) තුමියගේ විවාහය පිළිබඳ විග්‍රහයක්

    මනුෂ්‍ය වර්ගයාට අවසන් දිව්‍යමය මාර්ගෝපදේශය වූ අල් කුර්ආනය පහළ කිරීමට දෙවිඳුන් විසින් අවසන් ධර්ම දුතයා ලෙස මුහම්මද් තුමාණන් ව තෝරා ගත් දිනයේ සිට එතුමාණන් පිළිබඳව ප්‍රතික්ෂේප කරන්නන් විසින් විවිධ ආකාරයේ අපහාස කිරීම් හා චෝදනා මතු කළ බව අල් කුර්ආනය මෙන්ම ඉතිහාසයද සාක්ෂි දරයි. වර්ෂ 1400 කට පෙර මක්කාහ් නගරයේ ජීවත් වූ කුරෛෂ් ප්‍රතික්ෂේපකයින් එතුමන් ව උම්මත්තකයෙකු හා හූනියම් කරුවෙකු ලෙස හඳුන් වන්නට උත්සාහ දැරූ බව අල් කුර්ආනය සඳහන් කරයි. කෙසේ නමුත් එතුමන් ව අසත්‍යවාදියෙකු ලෙස හෝ වංචාකරුවෙකු ලෙස හෝ හඳුන්වන්නට කුරෛෂ් වරුන් ඉදිරිපත් නොවුහ. අල් කුර්ආනය පහළ වීමට පෙර සිටම මක්කාහ් වාසී ජනයා අතරේ ජීවත් වූ එතුමාණන් ව ඔවුන් දැන සිටියේ සත්‍යවාදියෙකු හා විශ්වාසවන්තයෙකු ලෙසට පමණි. අල් කුර්ආනය පහළ වීමට පෙර ආරම්භක කාල වකවානුවේ සිට මක්කාහ් වාසී කුරෛෂ් වරුන් එතුමාණන් හට ගෞරවනීය නාමයන් දෙකක් ප්‍රදානය කොට තිබිණි. එතුමාණන්ගේ කිසි දිනෙක නොවෙනස් ව පැවති සත්‍යවාදීකම හේතුවෙන් “අස් සිද්දීක්” එනම් සත්‍ය වන්තයා යන ගෞරව නාමය ද කුමන අවස්ථාවක දී වුව ද විශ්වාසය කඩ කරමින් කටයුතු කිරීමේ පිළිවෙතක් එතුමාණන් වෙත කිසි දිනෙක නොතිබූ බව ඉතා හොඳින් දැන සිටි කුරෛෂ් වරුන් එතුමාණන් හට “අල් අමීන්” එනම් විශ්වාස වන්තයා යන ගෞරව නාමය ද ලබා දුන්හ. නමුත් සත්‍යයේ අරුණෝදය එනම් අල් කුර්ආනය පහළ වීමත් සමග තත්වය සහමුලින්ම වෙනස් වන්නට විය. අති උත්තරීතර චරිතයකින් යුක්තව හා සත්‍යවාදීව මෙන්ම විශ්වාසවන්තයෙකු ලෙස ජීවත් වූ එතුමාණන් ව උම්මත්තකයෙකු මෙන්ම හූනියම් කරුවෙකු ලෙස හඳුන්වන්නට කුරෛෂ් ප්‍රතික්ෂේපකයින් ඉදිරිපත් වුහ. මෙලෙස අවුරුදු 1400 කට පෙර ආරම්භ වූ ඉස්ලාමයට හා ඉස්ලාමයේ නබි තුමාණන්ට අපහාස කිරීමේ කටයුත්ත වර්තමානය දක්වාත් මින් ඉදිරියටත් අඛණ්ඩව සිදුවෙයි යන්න ඉස්ලාමිකයින් ඉතා හොඳින් දන්නා කරුණක් වන අතර මෙලෙස අපහාස කරන්නන් උපයා ගන්නා අති භයානක අකුසල් සම්භාරය ගැන සිතන විට අප පත්වන්නේ ඔවුන් කෙරෙහි වූ අනුකම්පාව මිශ්‍ර වේදනාවකටය. ඉස්ලාමය සත්‍ය ද නැද්ද යන්න පිළිබඳ ව පුර්ව නිගමනයන්ගෙන් තොරව ඉතා බුද්ධිමත් අයුරින් විචාරය හා යථාර්ථය පදනම් කර ගෙන කරුණු විමසීමක යෙදෙන්නට කරුණාකර අපි ඔබට ආරාධනා කරන්නෙමු. අප දහම් තෝරා ගෙන ඇත්තේ ප්‍රවේණි උරුමයක් එනම් පරම්පරාවෙන් ලැබුණු දෙයක් හැටියට මිස විචාරය, බුද්ධිය, යථාර්ථය හා විද්‍යාව පදනම් කර ගෙන කළා වූ ගවේෂණයක ප්‍රතිඵලයක් හැටියට නොවන බව අමතර අටුවා ලියා විග්‍රහ කළ යුතු කරුණක් නොවේ. අප ඉපදෙන පවුල අනුව දෙමව්පියන් ගේ දහම අනුගමනය කිරීම සාම්ප්‍රදායික ව සිදු වන්නකි. සත්ව ලෝකයේ විචාර බුද්ධියට උරුමකම් කියන්නේ මිනිසා පමණි. සාම්ප්‍රදායික පිළිවෙතින් මිදී විචාර බුද්ධිය උපයෝගී කර ගෙන හරි වැරදි පිළිබඳව නිගමනයන්ට එළඹීම මිනිසා විසින් තෝරා ගත යුතු නිවැරදි හා ශ්‍රේෂ්ඨ පිළිවෙතයි. මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මුහම්මද් තුමාණන් ගේ විවාහයන් පිළිබඳව හා විශේෂයෙන් ආයිෂා තුමිය සමග ඇති කර ගත් විවාහය පිළිබඳව ඇති තොරතුරු විමසා බලමු.

    මුහම්මද් තුමාණන්ගේ පළමු විවාහය සිදු වන්නේ එතුමාණන්ගේ විසි පස් වන වියෙ හි දීය. එය මක්කාහ් නගරයේ ජීවත් වූ උතුම් පැවැත්මකට උරුමකම් පෑ වංශවත්, ධනවත් හා වයස අවුරුදු 40ක් වූ ව්‍යාපාරික කටයුතු හි නිරතව සිටි කදීජා තුමිය සමගය. එතුමිය දෙවරක් ම වැන්දඹු වූ කාන්තාවකි. මුහම්මද් තුමාණන් සමග විවාහ වන විට වයස හතළිහක් වූ ඇය පෙර විවාහයන්ගෙන් දරුවන් කිහිප දෙනෙකු ගේ මවක් ද වුවාය. එතුමිය සමග ගෘහ ජීවිතය ගත කරද්දී මුහම්මද් තුමාණන් අන් කිසිදු විවාහයක් කර නොගෙන අවුරුදු 25 ක ආදරය, සතුට හා බැඳියාව සපිරි අති උත්තරීතර විවාහ ජීවිතයක් ගත කළහ. ඇගේ මරණය තෙක් එනම් ඇයට අවුරුදු 65 හා මුහම්මද් තුමාණන්ට අවුරුදු 50 තෙක් දරුවන් හය දෙනෙකු ලැබ ගත කළ මෙම විවාහය හා කදීජා තුමිය පිළිබඳව නබි තුමාණන් පසු කාලීනව ද නිතර සිහිපත් කළහ.

    මෙවන් අලංකාර ජීවිතයක් ගත කළ ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම මිනිසා පිළිබඳව “කාමුකයා” “ළමා අපචාරකයා” වැනි නින්දිත හා පිළිකුල් සහගත අපහාසයන් ඉදිරිපත් කරන ඉස්ලාම් විරෝධීන් උපයා ගන්නා අති භයානක අකුසලයන් ඉමහත්ය. පිරිමියෙකු ගේ ලිංගික ක්‍රියාකාරම් හි උච්ච තම වකවානුව වයස 25 සිට 50 දක්වා යැයි පිළිගැනීමට කිසිවෙකුට අපහසුතාවක් ඇතැයි අපි නොසිතන්නෙමු. මෙම කාල වකවානුව තුළ තමන්ට වඩා අවුරුදු 15 කින් වැඩිමහල්, දෙවරක් වැන්දඹු වූ දරුවන් කිහිප දෙනෙකුගේ මවක් විවාහ කර ගැනීම “කාමුකයෙකු” ගේ පිළිවෙත දැයි අසන්නට කැමැත්තෙමු.

    කදීජා තුමියගේ අභාවයෙන් අවුරුදු දෙකකට පසු අවුරුදු 50 ක් වයසැති වැන්දඹු ව සිටි සවුදා තුමියව විවාහ කර ගත් අතර ඉස්ලාමය වෙනුවෙන් නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටි සවුදා තුමියට මෙය විශාල අස්වැසිල්ලක් වුවාට සැකයක් නොමැත. කදීජා තුමියගෙන් ලද දරුවන් රැක බලා ගැනීමට එතුමියගෙන් ලද සහාය මුහම්මද් තුමාණන්ට ද අති විශාල සහනයක් විය.

    මීළඟට මුහම්මද් තුමාණන් විවාහ කර ගන්නේ ආයිෂා තුමියවයි. ඉස්ලාම් විරෝධීන් ගේ විවේචනයට ලක් වී ඇත්තේ මෙම විවාහයයි. ඔවුන් එතුමාණන් ට “ළමා අපචාරකයා” යන නින්දිත චෝදනාව මතු කරන්නේ මෙම විවාහය මුල් කර ගෙනය. මේ පිළිබඳව ඔවුන් උපුටා දක්වන්නේ පහත සඳහන් ආයිෂා තුමියගේ ප්‍රකාශනයයි.

    “මට වයස 6 දී නබි තුමාණන් මා විවාහ කර ගැනීමට ගිවිස ගත් අතර මට වයස 9 දී මෙම විවාහය සිදු කරන ලදී” (සහීහ් මුස්ලිම්)

    මෙම මුලාශ්‍රය නිවැරදිය. මෙම විවාහය පිළිබඳව ඇති සත්‍ය තොරතුරු විමසන්නට පෙර ශ්‍රී ලාංකිකයින් වශයෙන් මෙම සිද්ධියට සාපේක්ෂව අපට බලපාන තොරතුරු කිහිපයක් දෙස අවධානය යොමු කරමු. පහතින් උපුටා දක්වා ඇත්තේ ‘දිනමිණ’ පුවත් පතේ පළ වූ ප්‍රවෘත්තියකි.

    දිනමිණ 2011 ක්වූ අගෝස්තු මස 2 වැනි අඟහරුවාදා

    අඩු වයසින් පෙළවහට නීති රීති සැකසේ

    “දැනට පවතින විවාහ ලියා පදිංචි කිරීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සලකා බලන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා දැනට පවතින අවම වයස 18 ක් වන අතර එය අවුරුදු 15 දක්වා අඩු කිරීම කෙරෙහි කරුණු සලකා බලන බව ඇමතිවරයා පවසයි. ගම්බද ප්‍රදේශ වල අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීම හේතුවෙන් ස්ත්‍රී දුෂණ චෝදනා වලට නඩු පැවරෙන තරුණ තරුණියන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යෑම පිළිබඳ අවධානය යොමු කර මෙලෙස විවාහ වීමේ වයස් සීමාව සංශෝධනය කිරීම කෙරෙහි කරුණු සලකා බලමින් සිටින බවද ඇමැති වරයා කියයි. අඩු වයසින් ලිංගික සබඳතා පැවැත් වීම සපුරා තහනම් වන අතර එවැන්නක් ඔප්පු වුවහොත් අදාළ පුද්ගලයාට වසර 7 ක සිර දඬුවමක් පැනවීමට නීතියෙන් ප්‍රතිපාදන ඇත. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීම සඳහා තමා අධිකරණ අමාත්‍යවරයා ව සිටි අවධියේත් මෙම යෝජනාව ගෙනා බව පවසන ඇමතිවරයා විවිධ පාර්ශව වල බලපෑම මත එම යෝජනාව ස්ථීර කර ගැනීමට නොහැකි වූ බවද කීය. එහෙත් වර්තමානයේ බාල වයස්කාර දරුවන් (අවුරුදු 18 ට අඩු) විවාහ කරවීමේ රෙජිස්ට්‍රාර් වරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. මේ නිසා වයස අවුරුදු 18 සම්පුර්ණ වනතුරු කිසිදු අයෙකුට විවාහ වීමේ ඉඩ ප්‍රස්තා අහුරා ඇතැයි ද ඒ මහතා කීය”.

    මෙම ප්‍රවෘත්තියෙන් හෙළිදරවු වන කරුණු විමසා බලමු.

    1. දැනට බාලවයස්කාර ලිංගික අපචාර වැඩි වෙමින් පවතී. මෙයට විසඳුම ඇත්තේ විවාහ සංස්ථාව තුළ බව ඇමැති වරයා දකී.

    2. අඩු වයසින් නීත්‍යනුකූල විවාහ බන්ධනයකට ඇතුළත් වීමෙන් මෙම තත්වය වෙනස් කළ හැකිය යන අපේක්ෂාව. සමාජ සදාචාරය මෙ මගින් සුරැකෙයි යන බලාපොරොත්තුව.

    3. විවාහයට අදාළ අවම වයස අපගේ නීති පද්ධතියේ ඇති අතර උපරිම වයස පිළිබඳ සඳහනක් කිසිදු තැනක සඳහන් වී නොමැත.

    අවුරුදු 18 ට අඩු වයසින් විවාහය හෝ ලිංගික සම්බන්ධය වර්තමානයේ වසර 7 ක සිර දඬුවමක් ලැබීමට හේතු විය හැකිමුත් වසර දහස් ගණනකට පෙර සිදු වූ විවාහයක් මෙම නීතිය පදනම් කර ගෙන විනිශ්චයක් හෝ මතයක් හෝ පළ කිරීමට බුද්ධිමත් කිසිවෙකු ඉදිරිපත් නොවෙයි යන්න අපගේ මතයයි. එය එසේ නොවේ නම් වයස 16 දී සිදු වූ සිද්ධාර්ථ බෝසතාණන්ගේ හා යසෝධරා දේවියගේ විවාහය ද වර්තමාන නීතියට පටහැනි එකක් බව අකමැත්තෙන් වුවද සඳහන් කළ යුතුව ඇත. එක් එක් යුගයන් හි පැවති සමාජ සම්ප්‍රදායන්, පිළිගැනීම් හා නීති රීති අනුව එම සමාජයන් හි චර්යාවන්, චාරිත්‍ර හා ක්‍රියාකාරකම් සැකසී තිබුණි. වර්තමානයේ ඇති නීති රීති හා සංස්කෘතිය පදනම් කර ගෙන පැරණි යුගයේ සිදුවීම් විවේචනය කිරීම ට ඉදිරිපත් වීම අර්ථ විරහිත ක්‍රියාවකි. මෙවන් අතීතානුයෝගී චින්තනය ඇත්තේ මානව ඉතිහාසය හා වර්ධනය පිළිබඳ දැනුමක් නොමැති වුවන්ටය.

    උඩරට විවාහ හා දික්කසාද නීතිය.

    උඩරට නීතිය බලපාන ස්ත්‍රියක හා පුරුෂයකු අතර සිදුවන විවාහයක් උඩරට විවාහයක් ලෙස ලියා පදිංචි කළ හැකිය. මෙම නීතිය බලපවත්වන පළාත් වනුයේ: 1. මධ්‍යම පළාත, 2. උතුරු මැද පළාත, 3. ඌව පළාත, සහ 4. සබරගමුව යන පළාත් සතරයි. මේ පිළිබඳව දැනට බලපවත් වනුයේ 1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද පනතයි. 1954 අංක 34, 1955 අංක 22, 1975 අංක 41, 1978 අංක 23 යන සංශෝධන පනත් වලින් මුල් පනත කීප වතාවක් සංශෝධනය කර ඇත. උඩරට නීතිය අනුව විවාහ වීම සඳහා පිරිමි අයෙකුගේ වයස අවුරුදු 16 ක් ද ගැහැනු කෙනෙකුගේ වයස අවුරුදු 12 ක් ද සම්පුර්ණ වී තිබිය යුතුය. (උපුටා ගැනීම “උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තේසවලම නීතිය හා පුද්ගල නීතිය” - නීතිඥ ආනන්ද එන්. තිලකරත්න)

    උඩරට විවාහ නීතිය සැකසීමේදී ස්ත්‍රියගේ අවම වයස අවුරුදු 12 බවට තීන්දු කරන්නට ඇත්තේ ශ්‍රී ලාංකීය කාන්තාවකගේ වැඩිවියට පත්වීමේ සාමාන්‍ය වයස පදනම් කර ගෙන විය යුතුය යන්න අපගේ නිහතමානී මතයයි. විසි එක් වන සියවසේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ දෙමව්පියන්ගේ අනුමැතිය ඇතිව ස්ත්‍රියකගේ විවාහය සඳහා වූ නීත්‍යනුකූල අවම වයස වන්නේ අවුරුදු 13 ය. ජීව හා සමාජ විද්‍යාඥයින්ගේ මතය වන්නේ ග්‍රීෂ්ම කලාපීය දරුවන් ශීතල කලාපයන්හි දරුවන්ට වඩා අඩු වයසින් වැඩිවියට පත්වන බවයි. මේ පිළිබඳව කරුණාකර පහත සඳහන් අන්තර්ජාල සම්බන්ධකයට පිවිස කරුණු විමසා බලන්න.

    http://www.sos.nh.gov/Publications/MARRIAGE.PDF

    ඇමෙරිකානු එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දෙවව්පියන්ගේ එකඟතාව හා විනිශ්චය කරුවෙකුගේ අනුමැතිය ඇතිව සිදු වන විවාහයක් සම්බන්ධයෙන් අවම වයස් සීමාවක් නොමැත. මේ පිළිබඳ තොරතුරු පහත සඳහන් අන්තර්ජාල සම්බන්ධකයට පිවිස ලබා ගත හැක.

    http://www.cdph.ca.gov/certlic/birthdeathmar/documents/marriage%20ceremony%20info.pdf

    මේවා වර්ෂ 1400 කට පෙර නොව වර්තමානයේ විද්‍යාව හා තාක්ෂණය අතින් ලොව ඉදිරියෙන්ම සිටින ඇමෙරිකානු එක්සත් ජනපදයේ වැදගත් ප්‍රාන්තයක 21 වන සිය වසේ ක්‍රියාත්මක නීතීන්ය.

    ආයිෂා තුමියගේ විවාහය පිළිබඳව ඉස්ලාම් විරෝධීන් දැනට කර ගෙන යන්නා වූ ඉතා පහත් හා නින්දිත ප්‍රචාරය ගැන අප බොහෝ සේ මවිතයටත් කනස්සල්ලටත් පත් ව සිටින්නෙමු. මෙය සුපිරිසිදුවම වෛරය හා ක්‍රෝධය පමණක් පදනම් කර ගත් විෂ මිශ්‍ර වූ ප්‍රචාරයක් හැරෙන්නට අන් කිසිවක් නොවේ. ඉස්ලාමීය විවාහයක් නීත්‍යනුකූල වීමට අවශ්‍ය කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු.

    1. මනමාලිය වැඩිවියට පත් වී සිටිය යුතුය

    2. මනමාලියගේ පුර්ණ කැමැත්ත කිසිම බලපෑමකින් තොරව ලබා ගත යුතුය

    3. මනමාලයා විසින් ‘මහර්’ නම් වූ විවාහ තෑග්ගක් මනමාලියට ලබාදිය යුතුය

    4. මනමාලියගේ පියා හෝ නීත්‍යනුකූල භාරකරුවෙකු සිටිය යුතුය.

    5. විවාහය ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු අතර පිළි ගත් සාක්ෂි කරුවන් දෙදෙනෙකු සිටිය යුතුය.

    මෙහිදී විවාදයට ලක් වී ඇත්තේ ආයිෂා තුමියගේ විවාහය සිදු වන විට ඇගේ වයසයි. මෙම වයස පිළිබඳව ද මත කිහිපයක් ඇත. කෙසේ නමුත් ඉස්ලාමයට පහර ගසන්නන්ගේ ස්ථාවරයේ සිට මෙම කරුණ පළමුව සාකච්චා කරන්නට කැමැත්තෙමු. අරාබි ගැහැනු දරුවන් වයස 9 හෝ 10 වන විට වැඩිවියට පත් වීම ස්වභාවික වන අතර එම වයස වන විට ඔවුන් හොඳින් වැඩුණු කාන්තාවකගේ පෙනුමකින් යුක්ත වෙති. මා අවුරුදු විස්සක් මැද පෙරදිග පාසැලක රැකියාව කළ අයෙකු වන නිසා මෙහි සත්‍යතාව හොඳින් දන්නා අයෙකු වෙමි. (ඉස්ලාමයේ විවේචකයින් පවසන පරිදි) අවුරුදු 9 දී වැඩිවියට පත් වුනාට පසුවයි මෙම විවාහය නිශ්චිත වශයෙන්ම සිදු වී ඇත්තේ. මෙහි ඇති ගැටලුව කුමක්ද කියා අසන්නට කැමැත්තෙමු. මෙම විවාහය පිළිබඳව නබිතුමාගේ (එතුමාට දෙවිඳුන්ගේ ශාන්තිය හා ආශීර්වාදය අත්වේවා) යුගයේ කිසිවෙක්, මුස්ලිම් හෝ ඉස්ලාමයේ හතුරන් විසින් හෝ විරුද්ධ මත ප්‍රකාශ කර ඇත්තේදැයි කරුණාකර සොයා බලන්න. සියලු විවේචන මතු වී ඇත්තේ 20 වැනි හා 21 වැනි සියවසේ ඉස්ලාම් විරෝධීන් ගෙන් පමණි.

    වෛරය පදනම් කර ගෙන ආගමික නායකයින්ට හා අන් අයට මඩ ගසා අන් අයගේ සිත් තුළ වේදනාවක් ඇති කොට එයින් වින්දනයක් ලබන්නට ඉදිරිපත් වන්නේ Sadism (“පරපීඩාකාමිත්වය”) නමැති මානසික රෝගයෙන් පෙළෙන්නන් පමණි. එතරම් දුර දිග නොගොස් ඔබගේ මුත්තා, කිත්තා, කිරිකිත්තා විවාහ වන විට ඔවුන්ගේ මනාලියන්ගේ වයස කුමක්ද කියා කරුණාකර සොයා බලන්න. 20 වැනි හා 21 වැනි සියවසේ ක්‍රියාත්මක උඩරට සිංහල නීතිය අනුව විවාහය සඳහා කාන්තාවකගේ නීත්‍යනුකූල වයස අවුරුදු 12 බව ඉහතින් උපුටා දැක්වූ කොටසේ පැහැදිලිව දක්වා ඇත. ලාංකේය ගැහැනු ළමයෙක් සාමාන්‍ය වශයෙන් වැඩිවියට පැමිණෙන වයස පදනම් කරගෙනයි මෙම වයස අවුරුදු 12 තීරණය කරන්නට ඇත්තේ යැයි කිසිම සැකයක් නොමැත.

    පහත සඳහන් විස්තර කෙරෙහි ද ඔබගේ අවධානය යොමු කරන්නට කැමැත්තෙමු.

    පහත සඳහන් කොටස කිතුනු කන්‍යා සොයුරියක් ව සිටි ප්‍රසිද්ධ ඉතිහාසඥ වරියක් වූ කැරන් ආම්ස්ට්‍රෝන්ග් මෙනවියගේ “Muhammad: A Prophet for Our Time” යන ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.

    · “මුහම්මද් තුමාණන් හා ආයිෂා තුමිය අතර සිදු වූ විවාහයෙහි කිසිම අයෝග්‍යතාවක් නොමැත. ආයිෂා තුමියට වඩා අඩු වයසින් වූවන්වද එම යුගයේ විවාහ කර දීම සම්මත සම්ප්‍රදායක් ව පැවතිණි. මෙම පිළිවෙත යුරෝපීය රටවල් හි මෑත කාලයක් දක්වා ක්‍රියාත්මක විය. කෙසේ නමුත් ආයිෂා තුමියගේ විවාහය සිදු වන්නේ එතුමිය වැඩි වියට පත් වූවායින් පසුව යන්න පැහැදිළි කරුණකි.” (“Muhammad: A Prophet for Our Time” By Karen Armstrong 109 වැනි පිටුව)

    · ආයිෂා තුමිය තම වයස හයේදී මුහම්මද් තුමාණන් සමග විවාහ ගිවිස ගත් බව පවසන අවස්ථාවේ තවත් වැදගත් සිදුවීමක් සහීහ් බුහාරී හදීස් ග්‍රන්ථයේ සටහන් වී ඇත. මෙම විවාහය පිළිබඳව විවේචන ඉදිරිපත් කරන්නන් මෙම වැදගත් තොරතුර සඳහන් කිරීමට වුවමනාවෙන් මෙන් අමතක කරති. එනම් මුහම්මද් තුමාණන් සමග විවාහ ගිවිස ගැනීමට පෙර එතුමිය ජුබයිර් බින් මුතයිම් නමැත්තෙකු සමග විවාහ ගිවිස ගෙන සිටි බවත් පසුව එම විවාහ ගිවිසුම අවලංගු කර දමන ලද බවත් ය.

    · ආයිෂා තුමියගේ තරුණ විය හේතුවෙන් නබිතුමාණන් පිළිබඳවත්, එතුමාණන් ගේ ප්‍රකාශන, අනුමත කළ දෑ හා ක්‍රියාවන් පිළිබඳවත් එතුමිය විසින් වාර්තා කර ඇති තොරතුරු අති විශාල වන අතර එමගින් පසුකාලීන මුස්ලිම් ප්‍රජාව ලද ප්‍රයෝජනය අති මහත්ය. එම යුගයේ තත්වය අනුව මෙම විවාහය දහමේ සුරක්ෂිත භාවය උදෙසා සිදු විය යුතුම දෙයක් බව අනිවාර්යයෙන්ම මුස්ලිම් ප්‍රජාව අවිවාදයෙන් පිළිගන්නා කරුණකි.

    ආයිෂා තුමියගේ විවාහය පිළිබඳව මතු කර ඇති අශෝභන විවේචන ඉහතින් පැහැදිළි කොට ඇති කරුණු පිරික්සා බැලීමේදී අර්ථ ශුන්‍ය එකක් බව සහතික වශයෙන්ම ඔප්පු වන සත්‍යයකි. මෙසේ අවලාදාත්මක විවේචන ඉදිරිපත් කරන්නන් පිළිබඳව අවෛරයෙන් යුක්තව අනුකම්පා සහගත හැඟීමකින් ඔවුන්ට සත්‍යයේ දොරටු විවෘත වේවා! යැයි ප්‍රාර්ථනා කරමු.