×
අල්ලාහ් සුභානහුවතආලාගේ වදන් හි අඩංගු ප්රා තිහාර්ය ජනක ස්වභාවය ඉතා කෙටියෙන් ඉදිරිපත් කිරීමට දැරූ උත්සාහයකි. මුහම්මද් ධර්ම දුතයානන්ට දෙනු ලැබූ සදාතනික ප්රා තිහාර්ය අල් කුර්ආනයයි .

    අල් කුර්ආනය සදාතනික ප්රාබතිහාර්යයකි

    ] සිංහල – Sinhala –[ سنهالي

    මුහම්මද් මන්සූර් දහ්ලාන්

    විමර්ෂන කිරීම: අල් ආලිම් සහතික ලත්

    2013 - 1434

    القرآن الكريم المعجزة الخالدة

    « باللغة السنهالية »

    محمد منصور دحلان

    مراجعة: ماهر رمدين

    2013 - 1434

    අල් කුර්ආනය - සදාතනික ප්‍රාතිහාර්යයකි

    අල් කුර්ආනය යනු දෙවිඳුන් විසින් මනුෂ්‍යය වර්ගයාට නිවැරදි මග පෙන්වීම උදෙසා පහල කරනලද අවසන් දිව්‍යමය මාර්ගොපදේශයයි. මිනිසා මිහිතලය මත තම ජීවිතය ආරම්භකළ පළමු දිනයේ සිට වරින් වර මිනිසුන්ගෙන් තෝරා ගනු ලැබූ ශ්‍රේෂ්ඨ මිනිසෙකුට දෙවිඳුන් විසින් නිවැරදි මාර්ගෝපදේශයන් පහල කොට මිනිස් වර්ගයාව යහ මගට ආරාධනා කිරීම ඉතිහාසය තුලින් අප දක්නා සත්‍යයකි. අල් කුර්ආනය පහල කරනු ලැබුවේ දැනට වර්ෂ 1450 කට පමණ පෙර මක්කාහ් නගරයේ ජීවත්වූ, කිසිම සම්මත අධ්‍යාපනයක් නොලැබූ අනාත දරුවෙකු ලෙස මෙලොව එළිය දුටු මුහම්මද් තුමාණන්ගේ හතලිස් වන වියේ සිට එතුමාණන් මෙලොවින් සමුගත් හැටතුන් විය දක්වාවූ අවුරුදු විසි තුනක කාල පරාසයක් තුලයි.

    (නබිවරයාණෙනි,) මෙය (අල්කුර්ආනය) ට පෙර නුඹ කිසිම පුස්තකයක් කියවා නොමැත. තවද නුඹ නුඹගේ දකුණතින් එය ලියා (පුරුද්දක්) ඇති අයෙකුදු නොවන්නේය. එසේ වුයේ නම් මෙම අසත්‍යවන්තයින් (මෙය) ඔබ විසින් මනඃකල්පිත කරගත්තේ යැයි මිස අල්ලාහ් විසින් පහළ කළේ නැතැයි සැක සිතන්නට ඉඩ තිබිණි”. (අල්-කුර්ආන් 29 වන පරිච්ඡේදය 48 වැනි වැකිය)

    අවසන් දිව්‍යමය මාර්ගෝපදේශනය මනුෂ්‍යය වර්ගයාට ලබාදීම පිණිස මුහම්මද් තුමානන්ව (අල්ලාහ්ගේ සාමය හා ආශීර්වාදය එතුමා කෙරෙහි ඇති වේවා) දෙවිඳුන් විසින් තෝරා ගැනීමේ හේතුවෙන් එතුමාණන් අවසන් ධර්ම දුතයානන් බවට පත්විය. “නබි” හා “රසුල්” යන අරාබි වචනයන්ගෙන් අවධාරණය කරනු ලබන්නේද “ධර්ම දුතයානන්” යන අර්ථයයි. මෙය අල් කුර්ආනය පිලිබඳ ඉතාමත්ම සංක්ෂිප්ත හැඳින්වීමකි.

    “ප්‍රාතිහාර්ය” යනු කුමක්ද යන්න පිළිබඳව ද විවිධ කෝණයන්ගෙන් කරුණු විමසා බලමු. උදාහරණ වශයෙන්, භෞතික නීතිරීති මගින් විග්‍රහ කල නොහැකි දෙයක්, මිනිස් හැකියාව හා ශක්තිය අභිබවා සිදුවන්නක්, තර්කය හෝ යතාර්ථය පදනම් කරගෙන විග්‍රහ කල නොහැකි දෙයක් ආදිය ප්‍රාතිහාර්යයන් වශයෙන් හැඳින්විය හැක. ප්‍රාතිහාර්යයන් මිනිසාගේ ඉන්ද්‍රිය බලය අභිබවා යන්නක් හෙයින් එය අසම සම බලයක ක්‍රියාකාරිත්වයක් ලෙස සැලකීමට සිදුවන්නේය. ඉන්ද්‍රජාල හා අනෙකුත් මායාකාරී ඇස්බැන්දුම් ක්‍රියාවන් ප්‍රාතිහාර්යයන් ලෙස සැලකෙන්නේ නැත. එහෙයින් සත්‍යය ප්‍රාතිහාර්යයන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ ක්‍රියාකාරකම් බව පිළිගැනීමට අපට කිසිම අපහසුතාවයක් තිබීමට හැකියාවක් නොමැත්තේය.

    අල් කුර්ආනයේ විශාලතම ප්‍රාතිහාර්ය වන්නේ එහි අන්තර්ගත ඉගැන්වීම් අනුගමනය කිරීමෙන් මුළු මහත් ජන සමාජයක්ම ඉතාම කෙටි කාලයක් තුල යහ මගට පරිවර්තනය වූ ආකාරයයි. මේ පිළිබඳව මුස්ලිම් නොවන ලොව ප්‍රසිද්ධ ඉතිහාසඥයින් දෙදෙනෙකුගේ ප්‍රකාශන පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

    ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු එඩ්වඩ් ගිබන් (Edward Gibbon) විසින් වෙළුම් අටකින් ලියන ලද “Decline and Fall of the Roman Empire” (රෝම අධිරාජ්‍යයේ වැටිම හා විනාශය) යන ග්‍රන්ථය කුර්ආනය පහළ විමට පෙර තිබු අරාබි සමාජය පිළිබදව පවසන කොටස පහතින් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

    “කිසිදු මිනිස් ලක්ෂණයන්ගෙන් නොයුක්තවු මෙම මිනිස් තිරිසනුන් හා අනිකුත් සත්ව ලෝකයේ සාමාජිකයින් අතරේ පැවතියේ ඉතාමත් අල්ප වෙනස් කමකි. එම යුගයේ ජිවත් වු මිනිසා හා තිරිසනා අතරේ කිසිදු වෙනස් කමක් දැකිය නොහැකි ආකාරයෙන් ජිවත් වු මෙම මිනිස් පරපුර සැබැවින්ම මිනිස් වෙස්ගත් තිරිසන් පිරිසක් පමණකි”.

    තවත් ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු ස්කොට්ලන්ත ජාතික තෝමස් කාලයිල් (Thomas Carlyle) විසින් “Hero Worship And The Heroic In History” නමින් පොතක් පළකල අතර අල්කුර්ආනය පහළ විමෙන් පසු ඒ අනුව ජිවත් වු ජනයාගේ ස්වභාවය විග්‍රහ කරන කොටස එම පොතෙන් උපුටා පහතින් දක්වා ඇත්තෙමු.

    “ඉතා පහත් ම්ලේච්ඡ තත්ත්වයේ සිට මුළු මහත් මිනිස් වර්ගයාටම අන්ධකාරයේ සිට ආලෝකයට එන මග එලි පෙහෙලි කළ සහ උසස් දැනුමේ භාරකාරයින් බවට මුහම්මද් විසින් මේ ජනයාව පත් කරවන ලදි. ලොව බිහිවුදා සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවි කාන්තාරයේ තැන් තැන්වල තාවකාලිකව ජිවත් වෙමින් සිටි දුගි එඩේර ජන සමාජය ඉතා කෙටි කාලයක් තුළ ලොව සැම‍ගේ අවධානය දිනාගන්නට සමත් වු අතර ලොව ශ්‍රේෂ්ඨ ජන සමාජයක් ලෙසත් ගෞරවය ලබන්නටද සුදුසුකම් උරුම කර ගත්තේය”.

    අල් කුර්ආනය විවිධ කෝණයන්ගෙන් පිරික්සා බැලීමේදී කුමන කෝණයෙන් බැලුවද එය සැබැවින්ම අසම සම ප්‍රාතිහාර්යයක් බව අපට අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත. නමුත් ඉහතින් ගෙනහැර දැක්වූ මිනිස් ඉතිහාසයේ සිදුවූ අති දැවැන්ත සමාජ විප්ලවය නැතිනම් පරිවර්තනය එහි ශ්‍රේෂ්ඨතම ප්‍රාතිහාර්ය ලෙස අපි දකින්නෙමු. අල් කුර්ආනය අන් කිසිම ආගමික ග්‍රන්තයක දකින්නට නොමැති අභියෝගයක් මනුෂ්‍යය වර්ගයා ඉදිරියේ තබන්නේය.

    “ඔවුන් (විශ්වාස නොකරන්නෝ) මෙම අල්කුර්ආනය ගැඹුරින් අධ්‍යායනය කළ යුතු නොවේද?මෙය අල්ලාහ් හැර වෙනත් කෙනෙකුගෙන් පහළ වු පුස්තකයක් නම් මෙහි අන්තර්ගතයේ (වැරදි හා) පරස්පරයන්ද ඔවුන් විසින් දකින්නට තිබුණි”. (අල්කුර්ආනය 4 වන පරිච්ඡේදය 82 වැනි වාක්‍යය)

    මෙම අල් කුර්ආන වැකිය අනුව දෙවිඳුන් මනුෂ්‍යය වර්ගයා ඉදිරියේ තබන්නාවූ අභියෝගය නම් එහි අන්තර්ගතයේ එක් වැරැද්දක් හෝ පරස්පරයක් දක්නට ඇත්නම් සැබැවින්ම අල් කුර්ආනය දෙවිඳුන්ගෙන් පහලවුවක් නොවන බවයි. මෙම අභියෝගය වර්ෂ 1450 පමණ කාලයක් විවෘතව ඇත. අල් කුර්ආනයේ භෞතික කරුණු පමණක් 1000 කට වඩා සඳහන් කොට ඇත. විද්‍යාවට ගෝචර වන්නේ භෞතික කරුණු හෙයින් නුතන විද්‍යාත්මක සිද්ධාන්ත පදනම් කරගෙන අල් කුර්ආනයේ වැකි විමසා බලන්නට ඉදිරිපත්වූ සියල්ලන් මවිතයෙනුත් මවිතයට පත්කරමින් සනාත වූ සත්‍යයක් නම් අල් කුර්ආනයේ වදන් නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් අභිබවා කරුණු පැහැදිලි කොට ඇති බවය. මෙම කරුණු වලින් කිහිපයක් විමසා බලමු.

    අල් කුර්ආනය පහළ කරන ලද හත් වන සියවසේ මිනිසාගේ විශ්වාසය වුයේ පොළොව අද්දර පිහිටි කුළුණු දෙකක් බඳුවූ කඳු දෙකක් මත අහස පිහිටා ඇති අතර පොළොව සමතලා එකක් බවත්ය. එම යුගයේ මිනිසාගේ අවිද්‍යාත්මක පිලිගැනිම් ප්‍රතික්ෂේප කොට නිවැරදි මතයක් ස්ථාපිත කරන්නටද අල් කුර්ආනයේ පණිවිඩය කටයුතු කොට ඇත.

    “ඔහු ඔබ දකින කුළුණු කිසිවක් නොමැතිව අහස් නිර්මාණය කළේය. පොළොව ඔබ හා නොසැලෙනු පිණිස ඔහු තිරසාර හෙල් ස්ථාපිත කලේය”. (අල්කුර්ආන් 31 වන පරිච්ඡේදය -10 වැනි වැකිය)

    එම යුගයේ අවිද්‍යාත්මක විශ්වාසයන් ප්‍රතික්ෂේප කරන අතර තවත් ඉතා මෑතකදී සොයා ගත් වැදගත් විද්‍යාත්මක සත්‍යයක් ද ඉහත වැකියේ සඳහන් කොට තිබීම සුවිශේෂී කාරණයකි. එනම් මිහිතලය මත පිහිටා ඇති කඳු වලින් කෙරෙන්නාවූ කාර්ය කුමක් ද යන්න එහි පැහැදිලි කර තිබීමය. එයට අදාළ තවත් අල් කුර්ආන වැකි කිහිපයක් ද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

    “ඔබ හා පොළොව කම්පා නොවන පරිදි විශාල කදුද පිහිටෙව්වේය” (අල් කුර්ආනය 16 වන පරිච්ඡේදය - 15 වන වැකිය)

    “අප පොලොව ඇතිරිල්ලක් ලෙසද කදු කුඤ්ඤයක් ලෙසද (නොකළෙම්ද?) (අල්කුර්ආන් 78 වන පරිච්ඡේදය 6-7 වැනි වැකි)

    ලොව බොහෝ විශ්ව විද්‍යාල වල භු-විද්‍යාව හදාරණ සිසුන් භාවිතා කරන පෙළ පොතක් වන පෘථිවිය (The Earth) ග්‍රන්ථයේ එක් කර්තෘවරයෙකු වු මහාචාර්ය ෆ්‍රෑන්ක් ප්‍රෙස් (Frank Press) හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්ගේ විද්‍යා උපදේශකයාව සිටි අතර ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ (National Science Academy of ﷻ‬.S.A.) සභාපති ලෙස අවුරුදු 12 ක් කටයුතු කළ අයෙකි. මෙම පෘථිවය නම් ග්‍රන්ථයේ 435 වන පිටුවේ සදහන් වන්නේ විශාල කදු වැටි වලට පොළොව අභ්‍යන්තරයට දිව යන මුල් ඇති බවය. මෙම මුල් ඉතා තදින් පොළොව හා බැදි ඇති අතර එය කුඤ්ඤයක් (Peg) ලෙස කටයුතු කරමින් පොළොවෙහි ස්ථායිභාවයට උපකාරි වන බවයි. ටර්බක් (Tarbuck) හා ලුට්ජෙන්ස් (Lutgens) විසින් ලියන ලද භූ විද්‍යාව (Earth Science) නැමැති ග්‍රන්ථයේද 157 පිටුවෙහි මෙවැනිම අදහසක් මහා කඳු සම්බන්ධව සදහන් කොට ඇත. පෘථිවි තැටි (Plate Tectonics) භු විද්‍යාඥයින් විසින් පෘථිවිය සම්බන්ධව සොයා ගත් ඉතා නුතනම දැනුමයි. මෙම තැටි ස්ථායි තත්ත්වයේ තබා ගැනිමටත් කදු උපකාරිවන බව විද්‍යාඥයින්ගේ මතයයි.

    මිනිසාගේ නිර්මාණය

    දැනට ලොව ප්‍රධාන පෙලේ වෛද්‍ය විද්‍යාලයන්හි නාරිවේදය පශ්චාත් උපාධිය හදාරණ සිසුන් කළල විද්‍යාව හැදැරිම සඳහා උපයෝගි කරගන්නේ කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කීත් මුවර් (Keith Moore) විසින් ලියන ලද “The Developing Human” යන ග්‍රන්ථයයි. භාෂා අටකට පරිවර්තනය කොට ඇති මෙම ග්‍රන්ථය ඇමරිකානු විද්වත් මණ්ඩලයක් විසින් එක් අයෙකු විසින් ලියන ලද ශ්‍රේෂ්ඨතම විද්‍යාත්මක ග්‍රන්ථය ලෙස තෝරා ගෙන ඇත. කැනේඩියානු ව්‍යුහ විද්‍යාඥයින්ගේ සංගමය මගින් මෙම ක්‍ෂේත්‍රයේ දෙනු ලබන සම්මානණීය තිළිණය වු J.C.B. Grant සම්මානය 1984 දි එතුමාට ප්‍රධානය කරන ලදී. එතුමාගේ එක් ප්‍රකාශනයක් “This is The Truth” යන ග්‍රන්ථයෙන් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු. එතුමාගේ මෙම ප්‍රකාශනයන් අඩංගු දේශනයට අන්තර් ජාලයේ youtube.com වෙබ් අඩවිය මගින් ඔබට සවන් දිමට ද හැකිය. එහි සංෂිප්ත විස්තරයක් පහතින් දක්වා ඇත්තෙමු.

    “අප විසින් කළල විද්‍යාව අනුව අල්-කුර්ආනයේ හා නබිවරයාගේ වදන්වල සඳහන් කරුණු ගැන මහාචාර්ය මුවර්ගේ විශ්ලේෂණාත්මක අදහස් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි විට එතුමා පුදුමයෙනුත් පුදුමයට පත් විය. පසුගිය දශක තුන ඇතුළත විද්‍යාඥයින් විසින් කළලය හා කළලයේ වර්ධන අවධින් සම්බන්ධ ව සොයාගත් කරුණු මෙතරම් සවිස්තරාත්මකව හා නිරවද්‍යතාවයකින් යුක්තව ශතවර්ෂ 14 කට පෙර මුහම්මද් තුමා විසින් හෙළිදරව් කර ඇත්තේ කෙසේද? කියා සිතා ඔහු අතිශයින් මවිතයට පත් විය. 1981 දි සෞදි අරාබියේ දමාම් නගරයේ පවත්වන ලද 7 වන වෛද්‍ය සම්මන්ත්‍රණයේදි මහාචාර්ය මුවර් මෙසේ පැවසිය. “මනුෂය වර්ධනය සම්බන්ධයෙන් අල්-කුර්ආනයේ අඩංගු කරුණු පිළිබඳ ව පැහැදිළි කිරීමක් කරන්නට අවස්ථාවක් ලැබීම ගැන අතීශයින් සතුටට පත්වෙමි. මෙම විස්තර මුහම්මද් තුමාට ලැබී ඇත්තේ දෙවිඳුන්ගේන්ම බව මට ඉතාමත්ම හොඳින් පැහැදිළිය. මෙයට ප්‍රධාන හේතුව මෙම දැනුම මනුෂ්‍ය වර්ගයා තම පර්යේෂණ මගින් දැන ගන්නේ එතුමාට ශතවර්ෂ කිහිපයකට පසුවයි. මේ අනුව මුහම්මද් තුමා නිසැකවම හා නියත වශයෙන්ම දෙවිඳුන්ගේ ධර්ම දුතයෙක් බව ඉතා මනාසේ ඔප්පු වන්නේය”.

    මිනිසාගේ නිර්මාණය පිලිබඳව එනම් ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංශ්ලේෂණය වීමෙන් හටගන්නාවු කළලයේ වර්ධනය පිළිබඳව අල්-කුර්ආනය අවුරුදු 1400 කට පෙර විද්‍යාඥයින් විසින් දශක කිහිපයකට පමණක් පෙර සොයාගත්තාවූ කරුණු ඉතා සවිස්තරාත්මකව හා පුර්ණ නිරවද්‍යතාවයකින් යුක්තව ඉදිරිපත් කිරීමට හැකි නම් පළමු මිනිසාගේ හා ස්ත්‍රියගේ නිර්මාණය පිළිබඳව අල්-කුර්ආනයේ සඳහන් කර ඇති කරුණු සත්‍යය බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේද?

    ෆිර්අව්න් (Pharaoh)

    දැනට වර්ෂ 4000 කට පමණ පෙර ඊජිප්තුවේ පාලකයා වු දෙවන රැම්සෙස්ගේ පුත් මෙරනෙප්තාගේ මෘත දේහය දැනට තැන්පත් කර තිබෙන්නේ කයිරෝ නගරයේ තිබෙන ජාතික කෞතුකාගාරයේය. මෙම රජ පරපුර එම යුගයේ හඳුන්වනු ලැබුවේ ෆිර්අව්න් (Pharaoh) යනුවෙනි. මෙර්නෙප්තා ෆිර්අව්න්ගේ ඉතිහාසය අනුව ඔහු තමන් අධිපති දෙවිඳුන් බව හඳුන්වා දි තිබු අතර විශ්ව පරමාධිපතිඳුන්ගේ තවත් නබිවරයෙකුවු මෝසෙස් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමාගේ සමකාලිනයෙකුව සිටියේය. මෝසෙස් තුමා සමග නිතර ගැටුනු මෙම ෆිර්අව්න් මෝසෙස් තුමා හා එතුමාගේ අනුගාමිකයන්ව මරා දමන්නට ලුහුබැඳ ආ අවස්ථාවේදී, දෙවිඳුන් විසින් රතු මුහුද දෙබෑකොට මෝසෙස් තුමා හා පිරිසට රතු මුහුදින් එතෙර වන්නට ඉඩ සළසා දුන් අතර ෆිර්අව්න් හා ඔහුගේ හමුදාව රතු මුහුදට අවතිර්ණ වු විගස දෙබෑවු ජලකඳ එකට එකතුවීමෙන් ඔහු හා ඔහුගේ පිරිස මියගිය බව ආගමික ඉතිහාසය අපට උගන්වයි. මේ සම්බන්ධව ඇති අල්-කුර්ආන් වැකියන් අනුව අවුරුදු 4000කට පෙර මිය ගිය ෆිර්අව්න් ගේ මලකඳ විනාශයට පත් වන්නට ඉඩ නොදී මතු පරම්පරාවට අවවාදයක් වනු පිණිස සුරක්ෂිත කරන ලද බව දෙවිඳුන් අපට දන්වා ඇත. දැනට අවුරුදු 1400ට පමණ පෙර පහළ කරනු ලැබු අල්-කුර්ආනයට මෙම කරුණු ඇතුළත් වීමට නම් මෙම මෘත දේහය සොයා ගෙන ඒ පිළිබඳව දැනුමක් තිබූ උදවිය එම යුගයේ ජීවත් ව සිටිය යුතුය. මෙවැනි තත්ත්වයක් අවුරුදු 1400 කට පෙර නොතිබුනේනම් එය එසේ විය හැක්කේ අල්-කුර්ආනයේ පණිවිඩය පහළ කරනු ලැබුවේ සර්වඥතාවයකින් යුත් මුලාශ්‍රයකින් බව අපට අවිවාදයෙන් පිළිගැනිමට සිදුවෙනවා නොවේද? මේ සම්බන්ධව විකල්ප මතයක් ඉදිරිපත් කිරීමට අවකාශ තිබේද? මේ සම්බන්ධව අල්-කුර්ආන් වාක්‍යය පළමුව විමසා බලමු.

    “නුඹට පසුව එන අයට ප්‍රාතිහාර්යයක් වනු පිණිස මෙදින නුඹගේ සිරුර අපි ගොඩ දමා ආරක්ෂා කරන්නෙමු. නියත වශයෙන්ම මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් අපගේ ආයාත් (වදන්-සංඥා) ගැන නොතකන්නෝම යැයි” (අල්ලාහ් වදාල සේක.) (අල් කුර්ආන් -10 වන පරිච්ඡේදය-92 වැනි වාක්‍යයන්)

    මෙම වාක්‍යය පහළ වු කාලයේ එය කොතරම් සුවිශේෂි හා අසාමාන්‍ය දෙයක් ලෙස පෙනෙන්ට ඇතිද? ෆිර්අවුන්ගේ මෘත දේහය විනාශ නොවී සුරැකී ඇති බව සොයා ගන්නට වසර 1300 කට පෙර අල්-කුර්ආනයේ ඉහත වැකියෙන් පහළ කළ පණිවිඩය එම යුගයේ ජනයාට එක්තරා අන්දමින් ප්‍රහෙළිකාවක් වුවා විය හැක. මහාචාර්ය ලොරට් නම් විද්‍යාඥයා මෝසෙස් තුමාගේ යුගයේ ජීවත් වු ෆිර්අව්න්ගේ මෘත දේහය සොයා ගත්තේ 1898 වසරේදීය. මහාචාර්ය ලොරට් විසින් සොයාගත් ෆිර්අව්න්ගේ සිරුර වසර 4000කට ආසන්න කාලයක් තීබ්ස් නුවර නෙක්රෝපොලිස් සොහොන තුළ ඇතිරිල්ලක ඔතා තැන්පත් කර තිබිණ. 1907 ජුලි මාස 8 වැනිදා දින මහාචාර්ය එලියට් ස්මිත් නම් විද්‍යාඥයා මෙම සොහොන විවෘත කොට මෘත දේහය විද්‍යාත්මක පරික්ෂණයන්ට ලක් කළේය. ඉන් අනතුරුව “Royal Mummies” නමින් මෙම විස්තර අඩංගු පොතක්ද ඔහු පළ කලේය. මහාචාර්ය ලොරට් විසින් 1898 දී සොයා ගනු ලැබුවේ මෝසෙස් තුමාගේ යුගයේ මිසරයේ රජකම් කළ එමෙන්ම තමන්ව උත්තරිතර දෙවිඳුන් ලෙස හඳුන්වා දෙමින්ද, මෝසෙස් තුමාගේ සියළු ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරමින් ද අවසානයේදි මෝසෙස් තුමාව මරා දැමීමේ අදහසින් එතුමා ලුහුබැඳ ගිය ගමනේදී ජලයේ ගිලී මියගිය ෆිර්අව්න්ගේ දේහය බවට මෙම විද්‍යාත්මක පරික්ෂණයන්ගෙන් සනාථ කර ගන්නා ලදී.

    කයිරෝ නගරයට ගෙනයන ලද මෙම දේහය සම්බන්ධව 1975 වසරේදී ප්‍රංශ විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයෙකු වුද ජාත්‍යන්තර කීර්තියට පත් විද්‍යාඥයෙකු වුද මහාචාර්ය මොරිස් බුකෙයිල් විසින් නුතන තාක්ෂණික ශිල්ප ක්‍රම උපයෝගි කර ගනිමින් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලැබිණි. සියළු පර්යේෂණ අවසානයේදි විශ්මයට පත් ඔහු විසින් පහත සඳහන් ප්‍රකාශයනය නිකුත් කරන ලදී.

    “නුතන දත්ත අතර ශුද්ධ වු ග්‍රන්ථ පිළිබඳව සාධක සොයන පිරිස ෆිර්අව්න්ගේ සිරුර පිළිබඳව කුර්ආන් වැකි පවසන අතිශයින් විශ්මය ජනක සාධක දැකගන්නට නම් කයිරෝ නුවර ජාතික කෞතුකාගාරයේ රාජකිය මෘතදේහ තබා ඇති කාමරයට යා යුතුයි”.

    තම රට බලා ගිය මොරිස් බුකෙයිල් විසින් කුර්ආන් හා බයිබලය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමකට යොමුකොට The Bible Quran and Modern Science නැමැති ග්‍රන්ථය 1978 දි ප්‍රකාශයට පත් කළේය. මධ්‍යස්ථ විග්‍රහයක යෙදෙන ජාත්‍යන්තර කිර්තියට පත් ප්‍රවීන විද්‍යාඥයෙකු වු මහාචාර්ය මොරිස් බුකේල් තම ග්‍රන්ථයේ පහත සදහන් අයුරින් කරුණු පැහැදිළි කිරීමක යෙදින.

    “අල්-කුර්ආනය මුහම්මද් තුමන්ගේ කෘතියක් යැයි පවසන්නන්ගේ කල්පිතය සාවද්‍ය එකක් බව ඉහත සදහන් කරුණු (ඔහු විසින් අල්-කුර්ආනය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමෙන් සොයා ගත් කරුණු) වලින් පෙනේ. අකුරු නොදන්නෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ විශිෂ්ඨතම සාහිත්‍යධාරියා විය හැක්කේ කෙසේද? නුතන යුගයේ අන් කිසිදු මිනිසෙකු නොදැන සිටි විද්‍යාත්මක සත්‍යයන් අල්ප මාත්‍ර වරදකින් තොරව ශත වර්ෂ දාහතර කට පෙර හෙළිදරව් කළ හැක්කේ කෙසේද?” (125 පිටුව)

    ෆිර්අව්න්ගේ සිරුර මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට අවවාදයක් ලෙසින් ආරක්ෂා කරන බව අල්-කුර්ආන් හත්වන සියවසේ සඳහන් කළද මෙම තොරතුරු සනාථ වුයේ 19 වන සියවසේ එම සිරුර සොයාගැනීමෙන් අනතුරුවයි. අල්-කුර්ආනය විශ්වයේ පරමාධිපති විසින් පහළ කරන ලද පණිවිඩය බවට සහතික කරන්නට තවත් සාක්ෂි අවශ්‍ය දැයි ඔබෙන් විමසන්නට කැමැත්තෙමු.

    එමෙන්ම අල්-කුර්ආනයේ සත්‍යතාවය තහවුරු කරන තවත් මවිතකර සාක්ෂියක් ඔබගේ විචාර බුද්ධියේ විමසුමට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. පළමුව අල්-කුර්ආනයේ පහත සඳහන් වාක්‍යයන් දෙසට අවධානය යොමු කරමු.

    ඉරම් නගරය

    “ඉරම් නගරයේ (ඉතා උසස්වු) කුළුණු මෙන්වු ආද් ජනයා සම්බන්ධව නුඹගේ පරමාධිපති කෙසේ (දඩුවම්) කළේ දැයි ඔබ අවධානය නොකළෙහිද? ඔවුන් මෙන් (ශක්තිවන්තයින් ලෝකයේ කිසිම) නගරයක නිර්මාණය කරනු ලැබුවේ නැත”. (අල්-කුර්ආනය -89 වනපරිච්ඡේදය 6/8 වාක්‍යයන්)

    අල්-කුර්ආනයේ සඳහන් නගර සියල්ල සොයා ගෙන තිබු අතර ඉරම් නගරය සොයා ගැනීම පිළිබඳව ඇති තොරතුරු අතිශයින්ම මවිතකරය. 1978 දෙසැම්බර් කලාපයෙන් ඇමරිකාවේ පළකරනු ලබන National Geography සඟරාවේ ඉතා සුවිශේෂි වාර්තාවක් පළ කර තිබුණි. එනම් 1973 දි දකුණු සිරියාවේ පුරා විද්‍යාත්මක කැනීම් කිරීමේදී වැලිවලින් යටවි තිබු අවුරුදු 4300 ක් ඉපැරණි එල්බා නගරය සොයා ගන්නා ලද බවය. මෙම නගරයේ පුස්තකාලය ද ඔවුන්ට සොයා ගැනීමට හැකිවිය. එල්බා නගරය වාණිජ සම්බන්ධතාවයන් පවත්වා ගෙන ගිය නගරයන්හි නම් අඩංගු මැටි ඵලකයන්ද ඔවුන්ට සොයා ගැනීමට හැකි විය. එම ලැයිස්තුවේ සඳහන් නගරයන් අතර ඉරම් නගරයද සදහන් වී තිබුණි. අවුරුදු 1400 පෙර පහළ කරනු ලැබු අල්-කුර්ආනයේ වැකියක සදහන් මෙතරම් ඉපැරණී නගරයක නාමය සැබැවින්ම සත්‍යය නගරයක නාමයක් බව සොයා ගන්නට හැකි වුයේ 1973 දී නම් අල්-කුර්ආනයේ ප්‍රාතිහාර්ය ජනක භාවය මෙන්ම එහි පරම සත්‍යභාවයද මෙය සහතික කරන්නක් නොවන්නේද? තවත් විශ්මය ජනක සිදුවීමක් නම් ඉරම් නගරය නිශ්චිත වශයෙන්ම සොයා ගනු ලැබුවේ 1992 දී විමය. ඉහත අල්-කුර්ආන් වැකිය සඳහන් කරන්නේ ඉරම් වැසියන් කුළුණු මෙන් උස්වු ද ශක්ති සම්පන්න ජන කොට්ඨාශයක් බවය. ඉරම් නගරයේ 2010 දි කරන ලද කැණීම් වලින් ඉතා උස්වු ද ශරීර ප්‍රමාණය විශාල වුද මනුෂ්‍ය කොට්ඨාශයක ඇට සැකිලි සොයා ගන්නා ලදී. මෙයින් පැහැදිළි වන්නේ අල්-කුර්ආනයේ සත්‍යතාවය දිනෙන් දින අළුත් සාධකයන්ගේ හෙළිදරව්වීම් සමගම වඩ වඩාත් තහවුරු වෙමින් පවතින බව නොවේද? ඉරම් නගරයේ මෙම සියළු විස්තර ඔබට අන්තර්ජාලයෙන් ලබා ගත හැක.

    (නබිවරයාණෙනි) නුඹ මෙසේ විමසනු (මෙම පුස්තකය) අල්ලාහ්ගෙන් පහළ වි තිබියදී මෙය නුඹලා ප්‍රතික්ෂේප කළ හොත් (මෙසේ) ප්‍රසිද්ධියේ විරුද්ධ වන්නාට වඩා දුර්මාර්ගිකයා කවරෙක්දැයි නුඹ අවධාරණය කර බැලුවෙහිද? ඇත්තෙන්ම මෙය සත්‍යය යැයි ඔවුන්ට පැහැදිලි වන තෙක් අපගේ සාධකයන් (ලෝකයේ) බොහෝ ප්‍රදේශයන්හි ද ඔවුන් මාර්ගයෙන් ද ඉතාමත් ඉක්මණින් අපි ඔවුන්ට පෙන්වන්නෙමු. (නබිවරයාණෙනි) ඇත්තෙන්ම නුඹගේ පරමාධිපති සියල්ල නිරික්ෂණය කරමින් සිටින්නේ යැයි සෑහීමට පත් නොවුයේද?” අල්කුර්ආනය 41 වන පරිච්ඡේදය -51/53 වාක්‍යයන්)

    ඉහත දෙවිඳුන් අපට දන්වන්නේ අල්-කුර්ආනයේ සත්‍යභාවය තහවුරු කරන සාධකයන් මිහිතලය මතින් හා මිනිසා තුළින් නිරන්තරයෙන් හෙළිදරව් කරමින් සිටිනා බවය. අද අප සැබැවින්ම අත්දකිමින් සිටින්නේ මෙම සත්‍යතාවය තහවුරු කරන සාධකයන්ගේ හෙළිදරව්ව නොවේද?.

    මිහිතලයේ හැඩය

    මිහිතලයේ හැඩය කුමන ආකාරයේ එකක්ද යන්න විද්‍යාඥයින් නිශ්චිතව සනාථ කර ගන්නේ ඉතිහාසයේ ශතවර්ෂ පහකට අඩු කාලයක් ඇතුළතය. අල් කුර්ආනය හැරෙන්නට කිසිම ආගමික හෝ ආගමික නොවන ග්‍රන්ථයක් හෝ දහමක් ඉදිරිපත් කළ අයෙකු ඉතාමත් විද්‍යානුකුල ආකාරයට මිහිතලයේ හැඩය විග්‍රහ කොට නොමැත. විවිධ වැකියන් මගින් නිශ්චිත වශයෙන් ම පෘථිවිය පැතලි එකක් නොවන බව පැහැදිලි වන ආකාරයට කරුණු ඉදිරිපත් කොට ඉන් පසුව එක් වැකියකින් එහි නිශ්චිත හැඩය විග්‍රහ කොට ඇත. විනිශ්චය දිනයේ පෘථිවිය කුමක් බවට පත්වන්නේද යන්න පහත වැකියෙන් පැහැදිළි කොට ඇත.

    “පොළොව සමතලා තත්ත්වයට පත් කළ කල්හි“ (අල් කුර්ආනය 84 වන පරිච්ඡේදය 3 වැනි වැකිය)

    පොලොව දැනට සමතලා තත්ත්වයේ තිබේ නම් විනිශ්චය දිනයේදි නැවත එම තත්ත්වයට පත් කිරිමේ අවශ්‍යතාවයන් පැන ‍නොනගි. මෙම වැකියෙන් ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ දැනට පෘථිවිය පැතලි එකක් නොවන බවය.

    “ඔහු (අල්ලාහ්) අහස්ද පොළොවද සත්‍ය ප්‍රමාණයෙන් නිර්මාණය කළේය. ඔහු දවාල රැයෙහි ඇතුළු කරන්නේය. රැය දවාලෙහි ඇතුළු කරන්නේය”. (අල් කුර්ආන් 39 පරිච්ඡේදය -5වන වැකියෙන් කොටසක්)

    දවාල රැයෙහිද රැය දවාලෙහිද ඇතුළු කරන්නේය. යන්න පියවරෙන් පියවර සෙමින් සිදුවන ක්‍රියාවලියකි. පැතලි සමතලා පොළොවක එය එසේ සිදුවිය නොහැක. මෙයිනුත් අපට පැහැදිළි කර දි ඇත්තේ පොළොව සමතලා එකක් නොවන බවය. මේ සියල්ලටම වඩා වැදගත් ඉතා නිශ්චිත හා විද්‍යානුකුල ලෙස පොලවේ හැඩය පැහැදිළි කරන වැකිය දෙස අපගේ අවධානය යොමු කරමු.

    “ඉන්පසු ඔහු (අල්ලාහ්) භුමිය ව්‍යාප්ත කළේය.” (අල් කුර්ආන් 79 වන පරිච්ඡේදය-30 වැනි වාක්‍යය)

    ව්‍යාප්ත කළේය යන වචනය සදහා උපයෝගි කොට ඇති ආරාබි වචනය වන්නේ “දහාහා” ය. මහාචාර්ය මොහමඩ් මොහර් අලි තම “The Quran and the Orientalists” යන ග්‍රන්ථයේ විග්‍රහයක් කරමින් දහාහා යන වචනයට ව්‍යාප්ත කළේය, දිග හැරියේය, පැතිරෙව්වේය, යනාදි අර්ථ ඇති අතර එහි වඩාත්ම නිවැරදි අර්ථය වන්නේ බිත්තරයක හැඩය යන්නය. මෙම වචනයේ නාම පදය වු දහියාහ් යන්නෙහි අර්ථය බිත්තරය වේ. මෙහි වඩාත් සුවිශේෂි තාවය නම් දහියාහ් යන්න යොදන්නේ පැස්බරාගේ බිත්තරයට වීමය. පෘථිවිය කිකිළි බිත්තරයක හැඩයකින් නොමැත. විද්‍යානුකුල භුගෝලිය හැඩය වන්නේ නිරක්ෂය ප්‍රදේශයෙන් ටිකක් නෙරා ගොස් උත්තර හා දක්ෂිණ ධ්‍රැවයන්හි පැතලි ස්වභාවයක් තිබිමයි. පැස්බරාගේ බිත්තරයේ නිශ්චිත ස්වභාවය මේ ආකාරයේ එකකි. මෙයින් පැහැදිළි වන්නේ නුතන විද්‍යාව මිහිතලයේ හැඩය නිවැරදිව සොයා ගන්නට ශත වර්ෂ ගණකට පෙරම එහි නිර්මාතෘ විසින් ඉතා නිවැරදි ආකාරයෙන් අපට එහි දන්වා තිබිම නොවේද? එසේ නම් අල්කුර්ආනයේ අඩංගු අනෙකුත් සත්‍යයන් අපි කෙසේ නම් ප්‍රතික්ෂේප කරන්නෙමුද?

    ගැඹුරු සයුරේ අන්ධකාරය

    සාගරය පිළිබදව අල් කුර්ආනය පවසන කරුණු කෙරෙහිද අපගේ අවධානය යොමු කරමු. මුහුදු පත්ලේ මීටර් 200 ක් පමණ ගැඹුරට ගිය විට අන්ධකාරය ආරම්භ වි මීටර් 1000 ක් ගිය විට සම්පුර්ණයෙන්ම අඳුර පවතින තත්ත්වයක් දැකිය හැක. මේ බව Elder සහ Pernetta විසින් ලියන ලද “Oceans” නම් ග්‍රන්ථයේ 27 වන පිටුවේ සදහන් වේ. මිනිසාට කිමිදුම් උපකරණයන්හි ආධාරය නොමැතිව මීටර් 40 කට වඩා කිමිදිය නොහැකිය. විද්‍යාඥයින් ඉතා මෑතකදි සබ්මැරින් හා අධිතාක්ෂණ උපකරණයන්හි ආධාරයෙන් ගැඹුරු සාගරයේ මෙම අන්ධකාරය සොයාගත් අතර එයට අමතරව ගැඹුරු සයුරේ අභ්‍යන්තර ජල රළ ඇති බවද සොයා ගන්නා ලදි. මේවා සියල්ල නුතන විද්‍යාත්මක සොයා ගැනිම්ය. මේ සම්බන්ධව අල් කුර්ආනය පවසන කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.

    (ප්‍රතික්ෂේප කරන්නන්ගේ තත්ත්වය) ගැඹුරු මුහුදේ අන්ධකාරය බඳුය. එය රළෙන් වැසි ඇත. ඒ මත රළකි. ඒ මත වලාකුළුය. එකක් මත එකක් වනසේ අන්ධකාරයය. යමෙක් ඔහුගේ හස්තය දික් කරන්නේද ඔහු එය නොදකින්නේය. අල්ලාහ් යමෙකුට ආලෝකය නොදෙන්නේද ඔහුට ආලෝකයක් නොමැත”. (අල්කුර්ආන් 20 වන පරිච්ඡේදය -40 වැනි වාක්‍යය)

    නුතන විද්‍යාව පරික්ෂණය නිරික්ෂනය හා නිගමනය යන ක්‍රම වේදයන් උපයෝගි කරගෙන විද්‍යාත්මක සිද්ධාන්තයක් ස්ථාපිත කරගන්නා අතර නිශ්චිත වශයෙන් ඔප්පු කර නොගන්නා යමක් සත්‍යය ලෙස පිලිගැනිම ප්‍රතික්ෂේප කරයි. අල් කුර්ආනය ද මෙම විද්‍යාත්මක ආකල්පය අනුවම සිතන්නට මිනිසාව දිරිගන්වයි. පහතින් දක්වා ඇති කුර්ආන් වැකියෙන් මිනිසා සත්‍යය යැයි පවසන්නාවු කරුණු පිළිගැනිමට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අභියෝග කරයි.

    “කිතුණුවන් හෝ යුදෙව්වන් හෝ හැර (අන්) කිසිවෙකුත් ස්වර්ගයට ඇතුළු නොවන බව ඔවුහු පවසති. මෙය ඔවුන්ගේ පදනම් විරහිත විශ්වාසයක් (මිස සත්‍ය නොවන්නේය) නුඹලා සත්‍යවාදීහු නම් නුඹලාගේ සාක්ෂින් ගෙන එවු යැයි (නබිවරයාණෙනි) පවසවූ”. (අල්කුර්ආන් 2 වන පරිච්ඡේදය 111 වන වැකිය.)

    එහෙයින් ඉස්ලාමය මිනිසාගේ විචාර බුද්ධියට ගෝචර වන පරිදි පිලිගත හැකි සාක්ෂින් පදනම් කරගෙන ඔප්පු කළ හැකි හා ඔප්පු කරනු ලැබු සත්‍යයන් බවට ආගමික විශ්වාසය තිබිය යුතු යැයි පවසයි.

    “කව්රුන් අල්ලාහ් සමග අන් දෙවියෙකු අයැදීද ඔහු වෙත එයට අවශ්‍ය සාක්ෂි කිසිවක් නොමැත”. (අල්කුර්ආන් 23 වන පරිච්ඡේදය - 117 වැනි වාක්‍යය)

    අන්ධ භක්තිය ප්‍රතික්ෂේප කරන ලෙස මනුෂ්‍ය වර්ගයාට අල් කුර්ආනය උපදෙස් දෙයි. අප දහම් තොරා ගෙන ඇත්තේ තමන් උපන් පවුල අනුව බව නොරහසකි. දෙමව්පියන්ගේ දහම කිසිදු විමසුමකින් තොරව පරම සත්‍යය ලෙස පිළිගෙන කටයුතු කිරිම අල් කුර්ආනය ප්‍රතික්ෂේප කරයි.

    “අල්ලාහ් පහළ කළ දෑ(අල් කුර්ආනය) වෙතද රසුල්වරයා වෙතද පැමිණෙනු යැයි ඔවුනට කියනු ලැබුවහොත් අපගේ පියවරුන් කුමක් කෙරෙහි (අනුගමනය කරමින්) සිටියේ දැයි අප දැක්කෙමුද, එයම (අනුගමනය කිරීම) අපට ප්‍රමාණවත් ව‍න්නේ යැයි කියන්නෝය. ඔවුන්ගේ පියවරුන් කිසිවක් නොදැනුවත්වද සෘජු මාර්ගයෙහි නොවි සිටියදි ද (ඔවුන් තමන්ගේ පියවරුන් අනුගමනය කරන්නේ) (අල් කුර්ආන් 5 වන පරිච්ඡේදය 104 වැනි වැකිය).

    ඉහත විද්‍යාත්මක සාධක ගෙනහැර දැක්වූයේ නුතන විද්‍යාව ඉතා මෑතකදි සොයාගත් කරුණු අල්කුර්ආනයට අවුරුදු 1400 කට පෙර ඇතුළත් වි තිබේ නම් නිශ්චිත වශයෙන්ම අල්කුර්ආනය මනුෂ්‍ය බුද්ධියේ නිර්මාණයක් විය නොහැකි බවටත් එහි මූලාශ්‍රය සහතික වශයෙන්ම සර්වඥාණී එකක් විය යුතු බවටත් සනාථ කිරිමටය. අල් කුර්ආනයේ සඳහන් විද්‍යාවට ගෝචර භෞතික කරුණු සියයට සියයක්ම නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුකුලව හා සත්‍යය බව ඔප්පු වන්නේ නම් විද්‍යාවට ගෝචර නැති පාර භෞතික කරුණුද (දෙවිඳුන්, මරණින් මතු ජිවිතය, විනිශ්චය දිනය, නිරය, ස්වර්ගය වැනි) සත්‍යයන් බවට අපට පිලිගන්නට සිද්ධ වෙනවා නොවේද?

    මරණින් මතු ජීවිතය

    ඉස්ලාමීය මරණින් මතු ජීවිතය පිලිබඳ සංකල්පය මිනිසාගේ විචාර බුද්ධියට එකඟ විය හැකි මෙන්ම නුතන විද්‍යාත්මක සාධක පදනම් කරගෙන කරන්නාවු ඉදිරිපත් කිරිමකි. නිවැරදි විශ්වාසය මෙන්ම සදාචාර සම්පන්න ජිවිතයකටද ඉස්ලාමිය මරණින්ද මතු ජිවිතය පිළිබඳව වු සංකල්පය දිරිගැන්විමක් කරයි. පළමුව මරණින් පසු ජිවිතයත් සහතික වශයෙන් ම ඇති බවත් එහිදි මිහිතලය මත කළාවූ ක්‍රියාවන්ට විපාක විඳින්ට සිදුවන්නේ තමාටමය යන අදහස අල් කුර්ආනය අවුරුදු 1400කට පෙර ඉදිරිපත් කර ඇති ආකාරය විමසා බලමු.

    (මිය ගොස් දිරාපත් වි පස් බවට පත් වුණු පසු) ඔහුගේ ඇට සැකිල්ල අපි එක්රැස් (කොට ඔහුව පුනර්නිර්මාණය) නොකරන්නෙමු යැයි මිනිසා සිතන්නෙහිද? නොඑසේය, ඔහුගේ ඇඟිලි තුඩ පවා (පෙරතිබු ආකාරයෙන්ම) තැබිමට තරම් අපි බලසම්පන්න වන්නෙමු”. (අල්කුර්ආන් 75 පරිච්ඡේදය 2-4 වගන්ති)

    මිනිසාගේ සිත් තුළ නලියන නිරන්තර සැකයක් එනම් තමා මියගොස් දිරාපත් වි පස් බවට පත්වුවායින් පසුව කෙසේ නම් තමාව නැවතත් පුනර්නිර්මාණය කරන්නේද යන ප්‍රශ්නය මතු කරමින් මිනිසාට ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයේ විද්‍යාත්මක සාක්ෂියක් සහිතව අල්කුර්ආනය පිළිතුරු සපයයි. මිනිසාගේ ඇඟිලි තුඩ එකිනෙකට වෙනස් බව එනම් එක් අයෙකුගේ ඇඟිලි තුඩ තවත් අයෙකුගේ ඇඟිලි තුඩට සමාන නොවන බව පළමුවරට සොයා ගනු ලැබුවේ 1880දි බ්‍රිතාන්‍ය ජාතික ප්‍රැන්සිස් ගෝල්ඩ් විසිනි. ඇඟිලි තුඩෙහි ඇති මෙම සුවිශේෂත්වය කෙසේ නම් අවුරුදු 1400 කට පෙර පහළ වු අල් කුර්ආනය අපට දන්වන්නේද යන්න සිතා බැලිය යුතු නොවන්නේද? අපට උපතින්ම ලැබෙන හැඳුනුම් පත ඇඟිලි තුඩයි. එය තමාම බව සනාථ කරන වෙනස් කළ නොහැකි ප්‍රබලම සාක්ෂියයි. මෙම ප්‍රාතිහාර්ය ජනක සත්‍යය සමග දෙවිඳුන් මරණින් මතු ජිවිතය පිළිබඳව අපට දන්වන්නේ නම් එම ජිවිතය ප්‍රතික්ෂේප කරන්නට අපට හැකියාවක් තිබේද? අනිත් අතින් පුනර්නිර්මාණය කරනු ලබන්නේ මියගිය මිනිසාම බව සහතික කරන පණිවිඩයක් මෙම කුර්ආන් වැකිය තුළ ගැබ්වි තිබෙනවා නොවේද? එසේ නම් මිහිතලය මතවු තමාගේ ජිවිතය සම්බන්ධව කෙතරම් දුරට ප්‍රවේශම් විය යුතුද යන්න ගැන අවවාදාත්මක පණිවිඩයක් මෙම අල් කුර්ආන් වැකියෙහි අඩංගු වි තිබේද යන්න ගැන අප අනිවාර්යෙන්ම සිතා බැලිය යුතු නොවන්නේද?

    අපාය පිහිටා ඇති ස්ථානය ගැන නිශ්චිතව ‍නොකියන අල් කුර්ආනය එය පාර භෞතික වුවත් මිනිසාට අපහසුතාවයකින් තොරව විශ්වාස කළ හැකි අයුරින් විද්‍යාත්මක සාධකයන් අපාය පිළිබඳව සඳහන් වැකියන් හි අඩංගු කොට ඇත.

    “කව්රුන් අපගේ සංඥාවන් (අල්කුර්ආනයේ ඉගැන්විම්) ප්‍රතික්ෂේප කරන්නේද ඇත්තෙන්ම (විනිශ්චය දිනයේදි) අපි ඔවුන්ව නිරයේ ගින්නට යවන්නෙමු. ඔවුන්ගේ සම (එම ගින්නෙන්) දැවි විනාශ වි යන සෑම විටම පිලිස්සිමේ වේදනාව (නිරන්තරයෙන්) දැනීම සදහා ඒ වෙනුවට අළුත් සමක් බාර කරමින් සිටින්නෙමු. අල්ලාහ් අති බල සම්පන්නය. ප්‍රඥාවන්තය.” (4:56)

    ඉහත අල් කුර්ආන් වැකිය දන්වන්නේ පිළිස්සිමේ වේදනාව දැනෙන්නේ සමෙන් බවය. ඉතා නුතන ශරිර ව්‍යුහ විද්‍යාත්මක (ANATOMY) සොයා ගැනිමක් නම් සමෙහි වේදනා ග්‍රාහකයන් (Pain Receptors) ඇති බවත් සම සහමුලින්ම විනාශ වි ගියායින් පසු වේදනාව නොදැනෙන බවත්ය. ලෝක ප්‍රසිද්ධ ව්‍යුහ විද්‍යාඥයෙකු වු තායිලන්තයේ චියෑංමායි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තගතත් තෙජසන්ට (Prof. Tagatat Tejesen) මෙම කුර්ආන් වැකිය මුස්ලිම් විද්‍යාඥයින් විසින් පෙන්වු අවස්ථාවේදි අල් කුර්ආනය අවුරුදු 1400 ක් පැරණි යැයි දැනගත් විට මවිතයෙනුත් මවිතයට පත්විය. ඉතා නුතන විද්‍යාත්මක සොයා ගැනිමක් කෙසේ නම් අවුරුදු 1400කට පෙර අල් කුර්ආනයට ඇතුළු විය හැකි වන්නේ දැයි විමසුවේය. කුර්ආනයේ ‍ඓතිහාසික කරුණු පැහැදිළි කිරිමෙන් පසු එහි ඉංග්‍රිසි පිටපතක් ලබාගත් මෙම මහාචාර්ය වරයා අවුරුද්දක් මුළුල්ලේ අල්කුර්ආනය හදාරා සෞදි අරාබියේ රියාද් නුවර පවත්වනු ලැබු අටවැනි වෛද්‍ය සම්මන්ත්‍රණයේදි ප්‍රසිද්ධියේම ඉස්ලාමය වැළඳ ගත්තේය. උපතින් බෞද්ධයෙකු වු ඔහු ඉස්ලාමය වැළද ගනිමින් ප්‍රකාශ කළේ පාර භෞතික සාධක මෙවන් නුතන විද්‍යාත්මක සත්‍යයන් සමග මිනිසාගේ අවධානයට ඉදිරිපත් කිරිමෙන් එය විශ්වාස කිරිමට හා පිලිගැනිමට මිනිසාට පහසුවක් ඇති වන බවයි. එතුමා මෙම සම්මන්ත්‍රණයේදි කළ කථාව අදත් YouTube.com වෙබ් අඩවියෙන් ඔබට දැක අසා ගන්නට හැකියාව තිබේ. අප මෙතෙක් සාකච්ඡා කළේ මිනිසාට පමණක් වු සුවිශේෂ වු විචාර බුද්ධිය උපයෝගි කරගෙන මිනිසාගේ මිහිතලය මත ඇති ජීවිත අරමුණ පිළිබඳව කරුණු තර්කයට නුතන විද්‍යාවට බුද්ධියට හා විචාරයට පිළිගත හැකි අයුරින් ඔබට ඉදිරිපත් කිරිමය. මිනිසාගේ මෙලොව අරමුණු නිසියාකාරව ඉටු කිරීමෙන් මරණින් මතු ජිවිතය ජයලබා ගත හැකි මාර්ගය පිලිබදව සාකච්ඡා කළෙමු.

    ඉහතින් ඉදිරිපත් කරණ ලද සියලු සාධක කෙරෙහි අවධානය යොමු කරණ ඕනෑම කෙනෙකුට අල් කුර් ආනයේ ඇති ප්‍රාතිහාර්යයන් අවබෝධ කර ගැනීමට හැකිවේ යැයි විශ්වාස කරන්නෙමු. මෙම අද්විතීය පුස්තකය සැබැවින්ම දෙවිඳුන් මිනිසාගේ මෙලොව හා මතුලොව ජයග්‍රහණය උදෙසා පහළ කරණ ලද්දක් බව ඔප්පුවන්නක් බව නිසැක ලෙස පිළිගැනීමට මෙම ඉතාම කෙටි ඉදිරිපත් කිරීම උපකාරී වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.