×
පෙන්තකොස්ත පාස්ටර්වරයෙකු සත්යව සොයා ගිය ගමන. අෂ් ෂේය්ක් බින් බාස්ගෙන් ෂහාදා උගන්වනු ලැබුවේය.

    උත්තරිතර සත්‍යයක් ගැන මම නිතර පැතුවෙමි

    ] සිංහල – Sinhala – [ سنهالي

    2014 මාර්තු මස 7 වන දින සවූදි අරාබියේ අරබ් නිව්ස් පුවත් පතේ පළ වු ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    2014 - 1435

    شخصيات أسلموا

    قصة اسلام باستار كينات جينكينس

    « باللغة السنهالية »

    جريدة عرب نيوس في 07مارس2014م

    ترجمة: جاسم بن دعيان

    2014 - 1435

    උත්තරිතර සත්‍යයක් ගැන මම නිතර පැතුවෙමි

    කෙනත් ජෙන්කින්ස්ගේ කථාව

    සවුදි අරාබියේ අරබ් නිව්ස් පුවත් පතේ 2014 මාර්තු මස 7වන දින පටන් සති තුනක් ඵල වූ නවක මුස්ලිම්වරයෙකුගේ කථාව

    නොමග ගිය තරුණයෙක් විසි වැනි වයසේ පෙන්තකොස්ත දේව ස්ථානයේ තම ගැලවීම දුටුවේය. තමා සෘජු මාර්ගයේ සිටින බව තරයේ විශ්වාස කළ ඔහු, “මා තුළ කොටසක් කුමක් හෝ දෙයක් සොයමින් සිටීය.” යනු පිළිගත්හ. තමා ලැබු මාර්ගයට වඩා ඉහළ සත්‍යයක් තිබෙන බව විශ්වාස කළ කෙනත් ජෙන්කින්ස් එම සත්‍යය, ඉස්ලාමයේ දැක ගත්තේය. මෙය සත්‍ය සොයා ගිය ඔහුගේ ජීවිත කතාවයි.

    හිටපු ක්‍රිස්තියානු දේවස්ථානයේ පූජකයෙක් සහ වැඩි මහල් කෙනෙක් ලෙස, අන්ධකාරයේ තවමත් ගමන් කරන අයට ආලෝකය සැපයීම මා සතු වගකීමකි. ඉස්ලාම් දහම පිළිගත් පසු, ඉස්ලාමයේ මා දුටු ආලෝකය, තවමත් අන්ධකාරයේ ගමන් කරන සියලු දෙනාටම ලබා දීමේ අවශ්‍යතාව තව තවත් අධික විය. මුහම්මද් නබි (සල්) තුමාණන් සහ එතුමාණන් සැබැවින්ම අනුගමනය කළ සහාබාවරු ඉගැන් වූ ඉස්ලාමයේ අලංකාරයට පිවිසීමට මට භාග්‍ය දුන් සියලු බල සම්පන්න අල්ලාහ්ට මගේ කෘතඥතාව හිමිවේවා.

    මම ඉස්ලාමයට පිවිසීමෙන් පසුව, සවූදියේ ආගමික විද්වතෙක් වන ෂෙයික් අබ්දුල්ලාහ් බින් බාස් තුමා මා හට දැක් වූ කරුණාව සඳහා අල්ලාහ් ට සියලු ප්‍රශංසා හිමි වේවා. එතුමා හමු වු සෑම අවස්ථාවකම මා ලැබු දැනුම මම අගේ කොට සලකන අතර, එය අන් අයටද බෙදා දෙන්නට ක්‍රියා කරන්නෙමි. මගේ දැනුම වර්ධනය කිරීමට රුකුල් දුන් බොහෝ දෙනෙක් සිටිති. මුස්ලිම් වරයෙක් වශයෙන් මගේ වර්ධනට සහය වූ සියලු සහෝදර සහෝදරියන් සඳහා අල්ලාහ්ට ස්තූති කරමි.

    මෙම කුඩා කෘතිය සියලු දෙනාට උපකාරයක් වනු ඇතැයි සිතමි. ක්‍රිස්තු සමූහය තුළ විශාල පිරිස් අතර පවතින හිතුවක්කාර තත්ත්වයෙන් මිදීමට ක්‍රිස්තු බැතිමතුන්ට මාර්ගයක් තිබෙනවා යැයි ඔවුන් දැන ගන්නා බව මම විශ්වාස කරමි. ක්‍රිස්තු බැතිමතුන්ගේ ප්‍රශ්නයට ඔවුන් අතරම විසඳුමක් දැක ගත නොහැකි වන්නේ, බොහෝ අවස්ථාවන් හි ඔවුන්ගේ ප්‍රශ්නයේ මුලික හේතුව ඔවුන් ම වීමය. එහෙත්, ක්‍රිස්තියානු ලෝකය සහ සෙසු ආගමික ලෝකය මුහුණ දෙන ප්‍රශ්න වලට විසඳුම ඉස්ලාම් වේ. අප හැකියාවට එකඟ ව අප විසින් සිදු කරන ලද සියලු කටයුතු වලට අල්ලාහ් ආශීර්වාද කරත්වා.

    කුඩා කල සිටම දේව බියෙන් මම හැදී වැඩුනෙමි. පෙන්තකොස්ත සභාවේ මූල ධර්මවාදිනියෙකු වන ආච්චි විසින් හදා වඩා ගනු ලැබු මගේ කේන්ද්‍ර ස්ථානය දේව මැදුරය. මට වයස අවුරුදු 6 වන විට හොඳ ළමයින්ට ස්වර්ගයේ ලැබෙන ත්‍යාග සහ දඟකාර ළමයින්ට අපායෙ හි සූදානම් කර තිබෙන දඬුවම පිළිබඳව හොඳින් දැන සිටියෙමි. අසත්‍යය පවසන සෑම කෙනෙක් ම අපාය ගත වන බව ද එහි සදා කල් ලැගුම් ගන්නා බව ද මගේ ආච්චි මට ඉගැන්වුවාය. මගේ මව රැකියා දෙකක් කළ අතර, ඇගේ මව ඉගැන් වූ දේ මට මතක් කළාය. ආච්චි අම්මාගේ අවවාද වැදගත් බව මම සැලකු නමුත් මගේ මල්ලි සහ අක්කා ඒ ගැන වැඩිය කලබල වුයේ නැත. පුන් සඳ ඇතැම් රාත්‍රීන් හී රතු වර්ණයට දුටුවහොත් මම කඳුළු සැළුවේ, එය අවසාන දිනයේ සංඥාවක් බව ආච්චි අම්මා ඉගැන් වූ පාඩම මතක් කරමින්ය.

    මට වයස අවුරුදු අට වන විට, අහසේ සහ පොළොවෙ හි අවසාන දිනයේ සංඥා කිහිපයක් දැක බියට පත් වුයෙමි. අපේ නිවස තිබුණේ දුම්රිය මාර්ග අසලමයි. රාත්‍රීයෙහී දුම්රිය යන ශබ්දයට අවදි වූ මට දුම්රියේ නළා ශබ්දය හොරණෑව මෙන් ඇසුණි. බයිබලයේ ළමා කථා සහ වාචික පාඩම් මගින් මෙවැනි දේ මගේ සිත් තුළ ස්ථීර ව තැන්පත් වී තිබුණි. අපට ප්‍රවාහනය සැපයුවේ අපේ පියාය. පූජා වේලාව දීර්ඝ එකකි. උදේ දහයෙන් පසුව පැමිණ, සවස තුන දක්වා වාඩි වී සිටියෙමු. බොහෝ අවස්ථාවන් හි ආච්චි අම්මාගේ උකුලේ මම නිදා ගත්තෙමි. මට සහ මල්ලිට ඉරිදා පන්තිය අවසන් වූ පසු උදේ පූජාව ආරම්භ කරන තුරු සීයාගේ දුම්රිය වැඩ පොළට ගොස් ඔහු සමඟ වාඩි වීමට අවසර ලැබුණි. සීයා පල්ලියට නොයන නමුත්, තම දරුවන් සෑම ඉරිදාවකම දෙව් මැදුරට යැවීමට වග බලා ගත්තේය. ටික කලකින් සීයා හදිසි ආඝාතයකින් එක් තැන් විය. මේ හේතුවෙන් අපට නොකඩවා පූජා ස්ථානයට යෑමට නොහැකි විය. මෙම වකවානුවේ මගේ ප්‍රවර්ධනයේ වැදගත් අවධි වීමක් සිදු විය. මෙම කාල වකවානුවේ පල්ලියට යෑමෙන් මට සහනයක් ලැබුණු නමුත්, මම දිගින් දිගට ඉරිදා දිනයේ ද ඇතැම් විට සතියේ දින වල පවා දෙව් මැදුරට ඇදුනෙමි. වයස අවුරුදු දහසයේ දී මිතුරෙකුගේ පියා පාස්ටර් (පූජක) ලෙස කටයුතු කළ දේව මැදුරට යන්නට පටන් ගත්තෙමි. මෙම දේව ස්ථානය කඩ සාප්පුවක් අසල තිබුණි. මගේ මිත්‍රයා, ඔහුගේ පියා, මම සහ තවත් පාසැල් යාළුවෙක් පමණක් මෙම දේව ස්ථානයට සහභාගි වුයෙමු. මාස කිහිපයකට පසුව මෙම දේව ස්ථානය වසා දමන ලදි. විශ්ව විද්‍යාලයට ඇතුළු වීමෙන් අනතුරුව මගේ ආගමික වගකීම මතක් වීමෙන් පෙන්තකොස්ත ඉගැන්වීම් පිළිබඳ ව කාලය යොමු කළෙමි.

    මම බෞතිස්මය කරනු ලැබ, මා තුළ “හෝලි ගෝස්ට් (පිරිසිදු ආත්මාව) විසින් පිරුණෙමි“ යන අත් දැකීම ලැබුවෙමි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස කෙටි කලකින් දේව ස්ථානයේ ගෞරවයට ලක් වුයෙමි. සෑම කෙනෙක්ම මා කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තැබු නිසා “ගැලවීම් මාර්ගය සෙවීමේ ගමනේ” යළි පා තැබුවේ ඉමහත් සතුටිනි. දේව මැදුරේ දොර විවෘත වූ සෑම විටම මම එයට සහභාගි වුයෙමි. දිනපතා, සතිපතා නොකඩවා බයිබලය පාඩම් කළෙමි. එවකට වූ ආගමික විද්වතුන්ගේ දේශනා සියල්ලට සහභාගි වි අවසානයේ වයස අවුරුදු විස්සේ දී පූජක ධූරය ලැබුවෙමි. මම දේශනා කරන්නට පටන් ගෙන කෙටි කාලයකින් ජනප්‍රිය වුයෙමි. මට විරුද්ධ වූවන්ට කිසිසේත් සමාව නුදුන් මම, මගේ දෙව් මැදුරට ඇතුළු නොවු කිසිවෙක් ගැලවීම් නොලබන බව විශ්වාස කළෙමි. දෙවියන් වහන්සේ ව මා පහදා ගත් අයුරින් නොව වෙනත් අයුරින් පහදා ගත් අයට එකාන්තයෙන්ම දොස් පැවරුවෙමි. මා අධ්‍යයනය ලැබුවේ ජේසුස් වහන්සේ සහ දෙවියන් වහන්සේ එක් කෙනෙක් බවයි. ජේසුස් වහන්සේගේ ත්‍රිත්වය පිළි නොගත් අප පෙන්තකොස්ත සභාව පියා, පුත්‍ර සහ පිරිසිදු ආත්මය යන තිදෙනාම ජේසුස් වහන්සේ බව තරයේ විශ්වාස කරයි. එම තර්කය මම අවබෝධ කරගන්නට උත්සාහ දැරූ නමුත්, සැබැවින් ම එය මට මහත් ප්‍රහේලිකාවකි. එහෙත්, එම මතය පැහැදිලි එකක් බව මම විශ්වාස කළෙමි. ඒ අතර, කාන්තාවන්ගේ චාම් ඇඳුම් සහ පිරිමින්ගේ බැතිමත් හැසිරීම මගේ ප්‍රසාදයට ලක් විය. සිරුර සම්පූර්ණයෙන් ආවරණය කරන ලෙස ද, මුහුණ ඔප නොකරන ලෙස ද, ජේසුස් වහන්සේගේ සැබෑ නියෝජිතයන් වශයෙන් හැසිරෙන ලෙස ද කාන්තාවන්ට අණ කරන දහම අනුගමනය කිරීම ගැන මම සතුටු වුයෙමි. නිත්‍ය සතුට ගෙන දෙන දහමක් අවසානයේ සොයා ගත් බව මම කිසිදු සැකයෙන් තොරව විශ්වාස කළෙමි.

    මගෙන් වෙනස් වූ විශ්වාසයක් සහිත නිකායට අයත් ඕනෑම ක්‍රිස්තු බැතිමතෙක් සමඟ මම සංවාදයේ යෙදුනු අතර, මගේ බයිබලයේ දැනුමෙන් ඔවුන් ව සම්පූර්ණයෙන් කිහඬ කළෙමි. මම සෘජු මාර්ගයේ සිටින බව මම සෑහිමට පත් වූ නමුත්, මා තුළ යම් කොටසක් තවමත් සෙවිල්ලේ සිටියි. මීට වඩා ඉහළ සත්‍යයක් තිබෙන බව මට හැඟුණි.

    සවූදි අරාබියට පැමිණි මම වෙනස් වුයෙමි

    හුදකලාවේ සිටින විට මම දීර්ඝ ව භාවනා කර, මා නිවැරදි දහමකට රැගෙන යන ලෙසද, මම දැන් කරන දේ වැරදි නම්, එයට සමාව දෙන ලෙස ද දෙවියන් වහන්සේ ට ප්‍රාර්ථනා කරන්නට වුයෙමි. ඇමරිකාවේ ඉස්ලාම් දහමට අයත් බව පවසන එකම පිරිස එලිජා මුහම්මද්ගේ අනුගාමිකයන් වන අතර, ඔවුන් “කළු ජාතික මුස්ලිම්”හෙවත් “අවතැන් වී යළි සොයාගත් ජනතාව” යනු හැඳින්වනු ලැබුහ. 1970 වසරේ දෙවන භාග කාල පරිච්ඡේදයේ, පූජක ලුවි ෆර්රාකාන් එම සංවිධානය “ඉස්ලාමයේ ජාතිය“ (Nation of Islam) යන නාමයෙන් යළි ගොඩ නගමින් සිටීය. මගේ සගයෙකුගේ ආරාධනාව මත පූජක ෆර්රාකාන් ගේ දේශනාවට සවන් දුන් මට, එය මගේ ජීවිතයේ විස්මයජනක පෙරළියක් සිදු කරන අත් දැකීමක් බව හැඟුණි. ඔහු කථා පැවැත් වූ ශෛලයෙන් තවත් කළු ජාතිකයෙක් කථා පවත්වනු මා කිසි විටක අසා නැත. වහාම ඔහු සමඟ සාකච්ඡාවක් පවත්වන්නට ද, පෙන්තකොස්ත දහමට ඔහුව හරවා ගන්නට ද මට අවශ්‍ය විය. මගේ ආගමට මිනිසුන් හරවා ගැනීම මම ප්‍රිය කළෙමි. මෙ මගින් නොමග ගිය ආත්මාවන් - ඔවුන් කව්රුන් වුවත්, අපාය ගින්නෙන් රැක ගැනීමට මට හැකි වන බව විශ්වාස කළෙමි.

    උපාධිය ලැබු පසු මම රැකියාවේ යෙදුණෙමි. මගේ පූජක තනතුරේ උසස් ස්ථානයට ළඟා වන විට එලිජා මුහම්මද් ගේ අනුගාමිකයින් බොහෝ දෙනෙක් සමඟ සම්බන්ධ වුයෙමි. කළු ජාතීන්ගේ සමුහය තුළ ම සිට එය විනාශ කරන අයහපත් ක්‍රියා සියල්ල තුරන් කරන්නට ඔවුන් දරන අවංක වෑයම මම අගේ කොට සැලකුවෙමි. ඔවුන්ගේ සඟරා සහ පොත්පත් මිල දී ගැනීමෙන් ඔවුන්ට සහය වු අතර, ඔවුන් කිහිප දෙනෙක් සමඟ සාකච්ඡාවෙ හි යෙදුනෙමි. ඔවුන් සැබැවින්ම විශ්වාස කරන්නේ කුමක් දැයි දැන ගනු පිණිස ඔවුන්ගේ අධ්‍යයන කණ්ඩායමට සහභාගි වුයෙමි. ඔවුන් බහුතරයක් අවංක බව මම දන්නා නමුත් දෙවියන් වහන්සේ කළු වර්ණ මිනිසෙක් යන අදහස මට පිළි ගත නොහැක. ඇතැම් ප්‍රශ්නයන් හි තම මතය ඉදිරිපත් කිරීමට බයිබලය ඔවුන් උපයෝගී කළ ආකාරය මට එකඟ විය නොහැක. මම හොඳ හැටි දන්නා මෙම ග්‍රන්ථයට ඔවුන් වැරදි අර්ථකථනය දෙන බව සිතු මම මහත් කනස්සල්ලට පත් වුයෙමි. පළාතේ නොයෙක් බයිබල් පන්ති වලට සහභාගි වූ මම බයිබල් අධ්‍යයනයේ විවිධ අංශය ගැන හොඳ හැටි දනිමි.

    වසර හයකට පසුව ටෙක්සාස් පළාතට ගොස් දේව ස්ථාන දෙකකට අනුබද්ධ වුයෙමි. මා සම්බන්ධ වූ පළමු වන දේව ස්ථානයේ ප්‍රධානියා තරුණ පූජකවරයෙකු (පාස්ටර්) වූ අතර, ඔහුට සුදුසු අත්දැකීමක් හෝ දැවැන්ත අධ්‍යාපනයක් හෝ නැත. මේ කාලය තුළ ක්‍රිස්තු දහමේ ග්‍රන්ථ පිළිබඳ මගේ දැනුම අසාමාන්‍ය ලෙස උසස් මට්ටමේ පැවතුණු අතර, බයිබලයේ අනුශාසණ යෙන් මගේ සිත සම්පූර්ණයෙන්ම ආවරණය වී අවසානය. නවක පූජකයා ගැන ගැඹුරු ව සෙවිමෙන්, ඔහුට වඩා මම අධික ව දන්නා බව අවබෝධ විය. ඔහුගේ ගෞරවයට හානි සිදු නොවන පරිදි, මගේ දැනුම තවත් වර්ධනය කර ගත හැකි යැයි සිතා වෙනත් නගරයකට ස්ථාන මාරුවක් ලැබුවෙමි.

    මෙම නව දේව ස්ථානයේ පාස්ටර් වරයා උගත් විද්වතෙකි. ඔහු අනර්ඝතම ගුරුවරයෙක් නමුත්, දේව ස්ථාන සංවිධානයේ සම්මතයට බාහිර වූ අදහස් කිහිපයක් ඔහු වෙත තිබුණි. ඔහු ලිහිල් මත දැක් වූවත්, ඔහුගේ අනුශාසනය මම ප්‍රිය කළෙමි. කලකින් පසු ක්‍රිස්තු දහමේ ඉතා වැදගත් පාඩමක් වන “ලෙළ දෙන සියලු දේ රත්‍රන් නොවේ“ යන්න අවබෝධ කර ගන්නට මට සිදු විය. බාහිර පෙනුමට පටහැනිව, දේව ස්ථානය තුළ කිසි විටෙක සිදු විය නොහැකි බව මා සිතු අශුභ කටයුතු එහි සිදු විය. මෙවැනි පාපයන් පිළිබඳ ව මම දීර්ඝ ව කල්පනා කළෙමි. මම ඉතාමත් කැප වූ ක්‍රිස්තියානු ඉගැන්වීම් ගැන දැන් ප්‍රශ්න කිරිමට පටන් ගත්තෙමි.

    පූජක වරුන්ගේ ධූරය තුළ මහත් ඊර්ෂයා සහගත පැවැත් ම ගැන මම අවබෝධ කර ගත්තෙමි. මා පුරුදු වී සිටි වාතාවරණය දැන් බොහෝ සේ වෙනස් වී ඇත. නින්දා සහගත බව මා සිතු ඇඳුමෙන් කාන්තාවන් සැරසි සිටියහ. මිනිසුන් ස්ත්‍රී පුරුෂයන්ගේ සිත් ඇද ගන්නාසේ සැරසී සිටියහ.

    දේව ස්ථාන කටයුතු මෙහෙයුමෙ හි මුදල් සහ තන්හාව කෙතරම් වැදගත් ද යන්න දුටුවෙමි. සුදුසු ආදායම් මාර්ගයක් නොමැති කුඩා දේව ස්ථානයන්, මුදල් රැස් කරනු පිණිස සහය වන ලෙස ඉල්ලීම් කළ නමුත්, ආර්ථික වාසියක් නැති නිසා ඒවාට සහභාගි නොවන ලෙස කිහිප දෙනෙක් කීහ. මගේ අරමුණ ගාස්තු අය කිරීම නොවන බවද, නොමිලේ වුවද දේශනා කරන්නට මම සූදානම් බවද පැවසුවෙමි.

    මගේ මෙම කථාව, දේව ස්ථානයේ කැලඹීමකට හේතුවක් විය. ප්‍රඥා සම්පන්න පුද්ගලයින් ලෙස මා සිතු අයගෙන් අදහස් විමසු විට, ඔවුන් සියල්ලෝම කරන්නේ මුළාවක් බව අවබෝධ විය. බයිබලයේ සත්‍ය ඉගැන්වීමට වඩා ධනය, බලය සහ තනතුරු බොහෝ වැදගත් බව දුටුවෙමි. බයිබල් පන්තියේ ශිෂ්‍යයෙකු ලෙස, බයිබලයේ වැරදි, පරස්පරවීම් සහ මිථ්‍යා ප්‍රබන්ධ තිබෙන බව මම දනිමි. මෙම සැබෑ තත්ත්වය ජනයාට පැහැදිලි කළ යුතු යැයි මගේ අදහස වේ. බයිබලයේ මෙම අඩුපාඩු ජනතාවට අනාවරණය කිරීම සාතාන්ගේ ක්‍රියාවක් බව ඔවුන්ගේ මතය විය. මෙම අඩුපාඩු පිළිබඳ ව පන්තියේ ගුරුවරුන් ගෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න නැගු නමුත් ඔවුන් කිසිවෙක් එයට පිළිතුරු දුන්නේ නැත. ජේසුස් වහන්සේ එකම අවස්ථාවෙ හි, දෙවියෙක් ලෙසද, පියාණන් ලෙසද, පුත්‍රයා ලෙසද, පිරිසිදු ආත්මාවක් ලෙසද පෙනි සිටින්නේ කෙසේ දැයි පහදා දෙන්නට ගුරුවරු අතරින් කිසිවෙකුට නොහැකි විය. අවසානයේ ගුරුවරු කිහිප දෙනෙක් එ ගැන තමා කිසිවක් නොදන්නා බවද, එම මිථ්‍යා ව ගැන විශ්වාස කිරීම පමණක් අවශ්‍ය බව පිළිගත්හ.

    අනාචාරය සහ මෛථුන සේවනයට බයිබලයේ දඬුවමක් නොලැබුණි. පූජකවරු කිහිප දෙනෙක් මත් ද්‍රව්‍යයට වහල් වී, තමන්ගේ සහ තම පවුලේ අයගේ ජිවිත විනාශ කළහ. දේව ස්ථාන කිහිපයක එහි නායකයෝ සමලිංගික ආස්වාද ලබන්නන් බවට අනාවරණය විය. ඇතැම් පාස්ටර්වරු දේව ස්ථානයට පැමිණෙන බැතිමතුන්, තරුණ දියණියන් සමඟ ලිංගික සම්බන්ධතා පැවත් වූහ. මේවා සහ අදාළ බව මම සැලකු ප්‍රශ්න වලට කිසිවෙකුගෙන් සුදුසු පිළිතුරු නොලැබීම නිසා වෙනසක් සොයන්නට මට අවශ්‍ය විය. සවුදි අරාබියේ රැකියාවක් මම භාර ගත් විට මේවා සියල්ල වෙනස් විය.

    බැඳීමක් නොමැති දැනුම ඉස්ලාමයේ වර්ධනය කර ගත හැක

    සවුදි අරාබියාවට පැමිණ කෙටි කාලයකින් මුස්ලිම් වරුන්ගේ ජීවන රටාවේ වෙනස මම දුටුවෙමි. එලිජා මුහම්මද් සහ ලූවි ෆර්රාකාන්ගේ අනුගාමික පිරිසට වඩා මේ මුස්ලිම් වරු වෙනස් වූ පිරිසකි. මේ ජනතාව විවිධ ජාතීන්ට, විවිධ භාෂාවන්ට සහ විවිධ වර්ණයන්ට අයත් පිරිස ය. මෙම නවීන පන්නයේ දහම පිළිබඳ වැඩි තොරතුරු දැන ගන්නට මගේ ආශාව ප්‍රකාශ කළෙමි. මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ ජිවිත කථාව කියවා බලා විස්මයට පත් වී, මගේ දැනුම වර්ධනය කර ගැනීමට ආශා කළෙමි. දාඊ සහෝදරයකු ගෙන් තවත් පොත් ඉල්ලු විට, මට කිය විය හැකි සෑම වර්ගයේ පොත් පත් ඔහු ගෙනත් දුන්නේය. ඒ සෑම පොතක්ම කියවා අවසන් කළෙමි. ඉන් පසු ව මට කුර්ආනයක් දෙන ලැබු විට, සිව් මසක් තුළ එය කිහිප වරක් ම කියවුයෙමි. මම අවසානයක් නොමැති ප්‍රශ්න ඇසු විට, ඒවා සියල්ලට නිසි පිළිතුරු දෙන ලදී. මේ සහෝදර වරුන් කිසිවෙක් තම දැනුමෙන් මාව ජය ගන්නට කිසිදු වෑයමක් නොකරනු දැක විස්මයට පත් වුයෙමි. මා අසන ප්‍රශ්නය ට ඔවුන්ට පිළිතුරු නොදන්නේ නම් ඒ බව අවංකව පවසා, දන්නා කෙනෙකුගෙන් අසන බව පවසුහ. ඔවුන් පසු දින එයට පිළිතුරු ගෙන එති. මැදපෙරදිගට අයත් මෙම අබිරහස් ජනතාවගේ ජීවිතයේ නිතර දක්නට තිබෙන විනීත භාවය මම එහි දුටුවෙමි.

    කාන්තාවන් හිස සිට පා දක්වා ආවරණය කරනු දැක මම මවිතයට පත් වුයෙමි. ආගමික ධුරයේ (පාප් වහන්සේ, කාර්ඩිනල්, බිෂොප් වැනි) පිළිවෙළක් එහි මා නුදුටුවෙමි. ආගමික තනතුරු සඳහා කිසිවෙක් තරඟ නොකරති. මේවා සියල්ල අපූරුය. එහෙත් කුඩා කල සිට මම අනුගමනය කළ දහම සහ එහි ඉගැන්වීම ඉවත දැමීම ගැන මම සිතන්නේ කෙසේද? බයිබලය ගැන කුමක් කිව හැකිද? නොයෙක් අවස්ථාවන් හි එය වෙනස් වීමට සහ සංශෝධනයට ලක් වූ බව නම් සැබෑය. දිනක් ෂෙයික් අහමද් දීදාත් සහ ඇමරිකානු පූජක ජිමි ස්වගාට් අතර සිදු වූ සංවාදයේ විඩියෝ පිටපතක් මට ලැබුණි. එම සංවාදය දුටු මම ඒ මොහොතේම මුස්ලිම් බවට පත් වුයෙමි. ෂෙයික් අබ්දුල්ලාහ් බින් බාස් තුමාගේ කාර්යාලයට නිසි ලෙස ෂහාදා ප්‍රකාශ කරනු පිණිස මා කැඳවා ගෙන යනු ලැබුවෙමි. දීර්ඝ ඉදිරි ගමනට සූදානම් කර ගන්නේ කෙසෙ දැයි එහි දී මම පැහැදිලි උපදෙස් ලැබුවෙමි. සැබැවින් ම එය අඳුරෙන් ආලෝකයට මා ලැබු නවක උපතකි. මගේ පෙත්තකොස්තු දේව ස්ථානයේ සගයින් මම මුස්ලිම් වූ බව ආරංචිය ගැන කුමක් සිතයි ද යනුවෙන් කල්පනා කළෙමි.

    කෙටි කාලයකින් ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක් දැයි මම දැන ගත්තෙමි. නිවාඩුවට ඇමරිකාවට ගිය විට, “දේව විශ්වාස නොමැතිකම” පිළිබඳ ව තරයේ විවේචනයට ලක් වුයෙමි. ආගම් ද්‍රෝහියා, පාපිෂ්ටයා සහ තවත් නම් වලින් මට ලේබල් ගැසුහ. ප්‍රාර්ථනාවන් හි මා ගැන කිසිදු සඳහනක් නොකරන ලෙස දේව ස්ථාන නායකයින් පෙන්තකොස්ත බැතිමතුන්ට අණ කළහ. මේ ගැන මම කිසිසේත් කලබල නොවීමි. අති උතුම් දෙවියන් වහන්සේ සෘජු මාර්ගය පෙන්වීම පිණිස මා තෝරා ගැනීම ගැන සතුටු වුයෙමි. අන් කිසිවකින් මට ප්‍රයෝජනයක් නැත.

    ආරම්භයේ මට අවශ්‍ය වූයේ කැප වූ ක්‍රිස්තු බැතිමතෙක් වීමයි.එ මෙන්ම, දැන් මගේ අපේක්ෂාව වූයේ කැප වූ මුස්ලිම් වරයෙක් වීමයි.ඉස්ලාමය තුළ කෙනෙකුට කැමැති ප්‍රමාණයට වර්ධනය විය හැකි බව දුටුවෙමි. දැනුම පිළිබඳ ව ඒකාධිකාරයක් නොමැත. දැනුම සෙවීමේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ලබන්නට කැමති ඕනෑම කෙනෙකුට නිදහස ලැබුණි. මගේ කුර්ආන් ගුරුවරයාණන්ගෙන් සහීහ් මුස්ලිම් හදීස් ග්‍රන්ථ කාණ්ඩයක් තෑගි වශයෙන් ලදිමි. අල්ලාහ්ගේ අවසාන දූත වරයා මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිත කථාව, එතුමාණන්ගේ උපදෙස් සහ ආදර්ශය පිළිබඳ ව තවත් අධ්‍යයනය කළ යුතු යැයි ඒමොහොතේ පහදා ගත්තෙමි. ඉංග්‍රිසි බසින් තිබෙන හදිස් සියල්ල ඉගෙන ගත්තෙමි. ක්‍රිස්තු පසුබිම සහිත බැතිමතුන් සමඟ සාකච්ඡා කරන අවස්ථාවන් හි, මගේ බයිබල් දැනුම කෙතරම් වාසිදායක දැයි මට දැනුණි. ජීවිතය පිළිබඳ ව නව අර්ථයක් මා දුටුවෙමි. ලෞකික ජීවිතය යනු මතු ජීවිතයට සූදානම් වීම සඳහා කැප කළ යුතු මාර්ගයක් යැයි අවබෝධ කර ගත් විට මගේ ආකල්පයේ හෘදයාංගම වෙනසක් සිදු විය. තවද, අපගේ යහපත් චේතනාවන්ට පවා කුසල් ලැබෙන බව දැන ගැනීම අලුත් අත් දැකීමකි. ඔබ යහපත් දැයක් කිරීමට අදහස් කළේ නම්, එයට කුසල් ලැබෙනු ඇත. මෙය ක්‍රිස්තු දේව ස්ථාන සංකල්පයට හාත්පසින්ම වෙනස් වූ එකකි. “අපායට යන මාර්ගය යහපත් චේතනාවලින් සාදනු ලැබී ඇත” යැයි කිතු දහමේ මතය වේ. එහි දී ජය ලබන්නට කිසිදු මාර්ගයක් නොමැත. ඔබ පාපයක් සිදු කළ විට, විශේෂයෙන් දුරාචාර වැනි මහා පාපයක් කළ විට පාස්ටර් වරයා වෙතට ගොස් පාපෝච්චාරණය කළ යුතුය. ඔබව මනිනු ලබන්නේ ඔබේ ක්‍රියාවෙන් ය. එම දහමේ යහපත් චේතනාවට කිසිදු ගරුත්වයක් නැත.

    වර්තමානය සහ අනාගතය

    මදීනා පුවත් පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවෙන් පසුව, මගේ අද ක්‍රියාවන් සහ අනාගත සැලැස්ම පිළිබඳ ව විමසුහ. දැනට මගේ අපේක්ෂාව අරාබි භාෂාව ඉගෙන ගෙන, ඉස්ලාම් පිළිබඳ ව මගේ දැනුම තව තවත් වර්ධනය කර ගැනීමයි. ඉස්ලාම් පිළිබඳ මුස්ලිම් නොවන ජනතාවට, විශේෂයෙන් ක්‍රිස්තියානු පසුබිමෙන් පැමිණෙන අයට දැන් මම දේශනා කීරීමේ යෙදි සිටිමි. අති උතුම් අල්ලාහ් මගේ ජිවිතය ආරක්ෂා කරන්නේ නම්, මෙම ආගම් දෙක සංසන්දනය කර පොතක් ලිවිමට බලාපොරොත්තු වෙමි.

    ඉස්ලාමය පිළිබඳ දැනුම සෑම කෙනෙකුට ලබා දීම මුස්ලිම් වරුන්ගේ වගකීමකි. මිලියන් ගණනාවක් විශ්වාස කරන ග්‍රන්ථයක් වන බයිබලයේ දක්නට තිබෙන වැරදි, පරස්පරතා සහ මිථ්‍යා ප්‍රබන්ධ පිළිබඳ ව එම අසරණ ජනතාවට සත්‍ය පහදා දීම මගේ විශේෂ වගකීමක් යැයි දනිමි. ක්‍රිස්තු බැතිමතුන් සමඟ දීර්ඝ ආරවුලට සම්බන්ධ වීමට අවශ්‍ය නැත යන දැනුම මට සතුට ගෙන දෙයි. එයට හේතුව ඔවුන් උපයෝගි කරන ආරවුල් කිරීමේ ශිල්පය ගුරුවරයෙක් වශයෙන් ඔවුන් ට පුහුණු කළේ මමයි. ඒ සමඟ, බයිබලය උපයෝගි කර ක්‍රිස්තු දහම වෙනුවෙන් තර්ත කරන්නට මම දනිමි. කෙනෙක් ඉදිරිපත් කරන තර්කයට ප්‍රතිවිරුද්ධ තර්කයක් ඉදිරිපත් කිරීමට පූජකයෙක් ලෙස අපට උගන්වන ලද නමුත් ඒවා අපි හෙළිදරව් නොකරමු.

    අල්ලාහ් අප සියලු දෙනාට ක්‍ෂමාව දී ස්වර්ග උයනට යන මාර්ගය පහසු කරත්වා යැයි ප්‍රාර්ථනා කරමි. සියලු ප්‍රශංසා අල්ලාහ්ට හිමිය. අල්ලාහ්ගේ කරුණාව සහ ආශීර්වාදය මුහම්මද් නබි (සල්) තුමාණන්ට, එතමාණන්ගේ පවුලේ අයට, සහාබාවරුන්ට සහ එතුමාණන්ගේ අනුගාමියන්ට හිමිවේවා.

    ඔබේ අදහස් පහත සඳහන් ලිපිනයට යොමු කරන්න. එවා අගේ කොට සලකමු.

    [email protected]