×
1. මුස්ලිම් වරයෙක් පාපයෙන් වැළකී සිටීමට ද තම ආශාවන් මැඩපැවැත් වීමේ හැකියාව වර්ධනය කිරීමට ද උපවාසය මාර්ගයක් වශයෙන් තෝරා ගත යුතුය. 2. කෝපය පාලනය කිරීමේ හැකියාව වර්ධනය කර ගැනීම ට උපවාසය සාධයක් විය යුතුය.

    ඉස්ලාම් හි උපවාසයේ අරමුණ

    ] සිංහල – Sinhala – [ سنهالي

    2014 ජූලි මස 10 වන දින සවූදි අරාබියේ අරබ් නිව්ස් පුවත් පතේ පළ වු ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    2014 - 1435

    أهداف الصوم في الإسلام

    « باللغة السنهالية »

    جريدة عرب نيوز 10 يوليو لعام 2014

    ترجمة: جاسم بن دعيان

    2014 - 1435

    ඉස්ලාම් හි උපවාසයේ අරමුණ

    සවූදි අරාබියේ අරබ් නිව්ස් ප්‍රවෘත්ති පත්‍රයේ

    2014 ජූලි 10 වන දින පළ වූ ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් බින් දඉයාන්

    පාප ක්‍රියාවන්ගෙන් වැළකී තක්වා නම් ධාර්මික ගුණය වර්ධනය කිරීම පිණිස අපේ ආශාවන් පාලනය කිරීමට පුහුණුවීම උපවාසයේ අරමුණ වේ. අල් කුර්ආනයේ අල්ලාහ් මෙසේ පවසයි. “එම්බල විශ්වාස කළ අයවලුනි! ඔබට පෙර විසු අය කෙරෙහි උපවාසය පවරනු ලැබුවාක් මෙන් ඔබ පාපයෙන් වැළකෙනු පිණිස ඔබ කෙරෙහි ද උපවාසය පවරන ලදී.“ සූරා 2: 185.

    තක්වා නම් පදයේ මුල් අර්ථය “රැක ගැනීම“ වන අතර, නොයෙක් අවස්ථාවන් හි විවිධ ආකාරයෙන් පරිවර්තනය කෙරේ. ඒවා නම්, අවධානයෙන් සිටීම, ධාර්මික ගුණය, දේව බිය බැතිමත්කම යනු වෙනි. මෙවැනි සත් ගුණායන් අප තුළ ක්‍රමානුකූල ව වර්ධනය විය යුතුයි. මේ මගින් උපවාසය මෙලොවේ පාපයන්ගෙන් පලිහක් මෙන් මිනිසාව ආරක්ෂා කරන අතර, මරණයෙන් මතු ජීවිතයේ අල්ලාහ්ගේ දඬුවමින් රැකවරණය දෙයි.

    අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් පැවසු බව උත්මාන් ඉබ්නු අබු අල් ආස් (රළි) මෙසේ දන්වයි. “යුද පිටියේ සෙබලෙකුට ආවරණය සපයන පලිහක් සේ මතු ලොවේ අපාය ගින්නෙන් උපවාසය ආරක්‍ෂාව සපයයි.“ මුලාශ්‍රය සුනන් ඉබ්නු මාජා 1639.

    එ බැවින් මුස්ලිම්වරයෙක් උපවාසයේ යෙදෙන විට සෑම පාපයන් ගෙන් තමාව රැක ගන්නට වග බලා ගත යුතුය. කිසිදු ප්‍රයෝජනයක් ගෙන නොදෙන කතාවන් සහ විශේෂයෙන් විවාදයන් ඔහු අත හැරිය යුතුය. ඔහු සමඟ කිසිවෙක් විවාදයට පැමිණියහොත්, “මම උපවාසයේ සිටිමි“ යනුවෙන් පමණක් පැවසීමෙන් ඔහු ප්‍රතිචාර දැක්විය යුතුය.

    “ඔබ අතර කෙනෙක් උපවාසය සඳහා අළුයම අවදි වන විට ඔහු අසභ්‍ය කතා පැවසීම සහ අඥාන කෙනෙකු මෙන් හැසිරීමෙන් වැළකිය යුතුය. කවරෙකු හෝ ඔහුට අපවාද නැගුවේ නම් හෝ වාදයකට පැමිණියේ නම්, ‘මම සැබැවින්ම උපවාසයේ සිටිමි, මම උපවාසයේ සිටිමි‘ යනුවෙන් පැවසිය යුතුය“ යනුවෙන් නබි (සල්) පැවසු බව අබු හුරෙයිරා (රළි) වාර්තා කරයි. මූලාශ්‍ර සහීහ් මුස්ලිම්.

    මුස්ලිම්වරයෙක් පාපයන්ගෙන් හා ප්‍රයෝජනයක් නොමැති කතාවෙන් තමා ආරක්‍ෂ කර ගත නොහැකි වුයේ නම්, ඔහුගේ උපවාසයේ අරමුණ ඔහුට නොලැබුණු බව සලකන්න.

    “කවරෙකු හෝ උපවාසයේ යෙදෙන විට අසත්‍ය කතා හා අකුසල් ක්‍රියා‍වන් අත හැරියේ නැත් නම්, ඔහු ආහාර හා පානයෙන් වැළකී සිටීම අල්ලාහ් ට කිසිසේත් අවශ්‍ය නැත.“ යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසු බව අබු හුරෙයිරා (රළ්) දන්වයි. මූලාශ්‍රය සහීහ් බුහාරි.

    මුස්ලිම් වරයෙක් පාපයෙන් වැළකී සිටීමට ද තම ආශාවන් මැඩපැවැත් වීමේ හැකියාව වර්ධනය කිරීමට ද උපවාසය මාර්ගයක් වශයෙන් තෝරා ගත යුතුය. දහවල් කාලයේ ආහාර පානාදිය ගැනීම සඳහා මුස්ලිම් වරයෙක් අධිෂ්ඨාන ශක්තිය වර්ධනය කර ගත්තේ නම්, අනිකුත් අවස්ථාවන් හි පාපයන් කෙරෙහි සිදු වන පෙලඹවීම ප්‍රතික්ෂේප කිරීමට තරම් තම අධිෂ්ඨාන ශක්තිය වර්ධනය කිරීමට සමත් වෙයි. “අහෝ තරුණයා! ඔබට බිරියක් නඩත්තු කළ හැකි නම් විවාහ වනු. සැබැවින් ම එයින් ඔබේ දෑසේ බැල්ම මැඩ පවත්වා ගත හැකි වන අතර හා ඔබේ ලිංගික පෙදෙස ආරක්ෂා කරනු ලබයි. එසේ (නඩත්තු) කළ නොහැකි කෙනෙක් උපවාසයේ යෙදිය යුතුය. එය පාලනය කිරීමේ උපක්‍රමයකි.“ යනුවෙන් රසූල් (සල්) තුමාණන් උපදෙස් දුන් බව ඉබ්නු මස්ඌද් (රළි) දන්වයි. මුලාශ්‍රසහිහ් මුස්ලිම් 1400.

    එ බැවින්, පාපතර ආශාවන් සහ තාෂ්ණාවන් ඉෂ්ට කර ගැනීමෙන් ආත්මාව වැළකීම පිණිස උපවාසය සුදුසු මාර්ගයක් වේ. මිනිසුන් ස්වර්ගය ට පිවීසීම ට හේතුවක් වන්නේ මෙවැනි ස්වයං පාලනයේ ගුණත්වය නිසාය. අල්ලාහ් ඒ බව පවසන්නේ මෙසේය.

    “තම හිමි සන්නිධානයෙහි (අන්තිම දිනයේ) ඉදිරිපත්විම ගැන බිය වී (මෙලොව) පහත් ආශාවෙන් වැළකුනු අය නම්, ජන්නාවෙහි ඔහු නිවසන තැන.“ සූරා 79: වැකි අංක 40-41.

    එමෙන්ම, කෝපය පාලනය කිරීමේ හැකියාව වර්ධනය කර ගැනීම ට උපවාසය සාධයක් විය යුතුය. මේ හේතුවෙන්, උපවාසයේ යෙදෙන මුස්ලිම්වරු විවාද නොකිරීමට හා අපවාදයට ප්‍රතිචාර නොදැක්වීමට වග බලා ගත යුතුය. “මල්ලව පොර ජය ගත් අය ශක්තිමත් අය නොවෙති. අධික කෝපයට පත් වු විට තමා ව පාලනය කර ගත හැකි අය සැබැවින් ම ශක්තිමත් අය වෙති.“ යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසු බව අබු හුරෙයිරා (රළි) වාර්තා කළේය. මූලාශ්‍ර සහීහ් මුස්ලිම් 2609. තවද, දුගී අයට අනුකම්පා කිරීමට සහ උත්රිතර අල්ලාහ් ට කෘතඥතාව දැක්වීමට උපවාසය මාර්ගයක් වේ.

    “ඔබට වඩා පහළින් සිටින අය දෙස බලනු. ඔබට ඉහළින් සිටින අය දෙස නොබලනු. එසේ නොමැති නම් අල්ලාහ් ඔබට දුන් ආශීර්වාද ඔබ සුළු කොට සලකනු ඇත.“ යනුවෙන් රසූල් (සල්) තුමාණන් උපදෙස් දුන් බව අබු හුරෙයිරා (රළි) වාර්තා කරයි. මූලාශ්‍ර සහීහ් මුස්ලිම් 2963.

    උපවාසයේ යෙදෙන විට අපට දැනෙන අපහසුතාව, දිළිඳුකම හේතුවෙන් නිසි ආහාර හෝ පිරිසිදු ජලය ලබන්නට නොහැකිව දුක් විදින ජනතාවගේ දෛනික ජීවන තත්ත්වය අපට මතක් කරයි. ඔවුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳ ව කල්පනා කිරීම තුළින්, ඔවුන්ගේ දිළිඳුකමට සහන සැලසීම පිණිස ඔවුන් ට පිනට දීමට ද අපට දෙන ලැබු අල්ලාහ්ගේ ආශීර්වාද සඳහා අල්ලාහ්ට කෘතඥ වීමට ද හේතුවක් දැක ගත හැකිය.

    අවසාන වශයෙන්, මුස්ලිම්වරයෙක් උපවාසයේ යෙදීමෙන් මරණයෙන් මතු ජීවියේ විමුක්තියද, අපාය ගින්නෙන් ආරක්ෂාව ද ලැබීම පමණක් නොව ස්වර්ගයට පිවිසීමේ භාග්‍ය ද හිමි කර ගනියි. සෑම දිනකම, කොතැනක හෝ මුස්ලිම්වරයෙක් ඔහුගේ උපවාසයේ තිළිණයක් වශයෙන් අපාය ගින්නෙන් ආරක්‍ෂාව ලබමින් සිටියි.

    “සැබැවින්ම, අල්ලාහ් උපවාසය අවසන් කරන මොහොතෙහි, මිනිසුන් මුදවා ගන්නා අතර, මෙය සෑම රාත්‍රියෙහි ම සිදු වේ.“ යනුවෙන් රසූල් (සල්) තුමාණන් දැන් වු බව ජාබිර් (රළි) වාර්තා කළේය. මුලාශ්‍ර සුනන් ඉබ්නු මාජා 1643.

    අපගේ උපවාසය පිළි ගන්නා ලෙසද, අප තුළ ඔහු ප්‍රිය කරන යහ ගුණයන් වර්ධනය කරන ලෙස ද උත්තරීතර අල්ලාහ් ගෙන් ප්‍රාර්ථනා කරමු.

    ජය ලැබෙන්නේ අල්ලාහ්ගෙන් පමණි. අල්ලාහ්ගේ දැනුම උතුම්ය.

    [email protected]