×
කාන්තා ඇදුම පිළබද විග්ර හය, අවශ්යأතාවය, එයින් සමාජයේ සිදුවන විඵාක, ඒවායින් මිදෙන්න තිබෙන මාර්ග මෙහි දී පහදා දෙනු ලැබේ.

    කාන්තා ඇඳුම පිළිබඳ විග්‍රහයක්

    ] සිංහල – Sinhala –[ سنهالي

    මුහම්මද් මන්සූර් දහ්ලාන්

    විමර්ෂන කිරීම: අල් ආලිම් සහතික ලත්

    2013 - 1434

    أحكام لباس المرأة

    « باللغة السنهالية »

    محمد منصور دحلان

    مراجعة: ماهر رمدين

    2013 - 1434

    කාන්තා ඇඳුම පිළිබඳ විග්‍රහයක්.

    ඇඳුම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් විය හැකිය යන්න සත්‍යයකි. කිතුනු මව්තුමියකගේ හෝ භික්ෂුණියකගේ හෝ ඇඳුම එක හා සමාන නොවිය හැක. නමුත් මෙම ඇඳුම් දෙකම සදාචාර සම්පන්න යැයි පැවසීම ඉතාමත් නිවැරදිය. අප මෙම ඇඳුම් සදාචාර සම්පන්න යැයි පවසන්නේ ඇයි? පිරිමියෙකුට මෙම දෙදෙනා දෙස බලන්නට සිදුවුවහොත් ඔහුගේ සිතේ ඇතිවන්නේ කුමන ආකාරයේ හැඟීම්ද? සත්‍ය වශයෙන්ම ලිංගික හැඟීම් ඇතිවීමට ඉඩක් තිබේද? දෙදෙනාම ස්ත්‍රීන්. නමුත් මෙම ස්ත්‍රීන් දෙදෙනා දෙස බලා තම සිතේ ලිංගික උත්තේජනයක් ඇතිනොවීමට ප්‍රධාන හේතුව කුමක්ද? තම හෘදසාක්ෂියට එකඟව පැවසිය හැකි එකම සත්‍යය වන්නේ ඔවුන්ගේ සිරුරු වැසෙන පරිදි ගෞරවනීය ලෙස ඇඳ ඇති “ඇඳුම” බව නොවේද? එසේනම් තමන්ගේ මව, බිරිය, දියණිය, සහෝදරිය හෝ ඕනෑම ස්ත්‍රියක් මහමග අන් පිරිමින්ගේ සිත් අනවශ්‍ය ලෙසට නොසන්සුන් නොකොට හා එම අයගේ සිත් තුළ ලිංගික හැඟීම් ඇති නොකොට සිටී නම් ඔවුන්ගේ ඇඳුම් සංවර විය යුතු බව අප පිළිගත යුතු නොවන්නේද?

    කිතුනු මව් තුමිය ඇගේ මුහුණ, දෑතේ මැණික් කටුවෙන් (wrist) පහත අත්ල හා දෙපයේ වළලුකරින් (ankle) පහත පාද කොටස යන ශරීර පෙදෙස් හැර මුළු ශරීරයම වැසෙන පරිදි ඇඳුම් ඇඳ ඇති ආකාරය දකින පිරිමියෙකුගේ මනසේ ඇය පිළිබඳව ඇති වන්නේ ගෞරවයක් යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. ඇගේ පාදද පාවහන් වලින් හා බොහෝ විට මේස් වලින් ආවරණය වී ඇත. මෙහෙණීන් වහන්සේගේ ඇඳුමද මෙයටම සමාන සංවරතාවකින් යුක්ත වන්නකි. එකම වෙනස වන්නේ භික්ෂුණියකට හිස වසා ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන්නේ එය සම්පුර්ණයෙන්ම මුඩුගා ඇති හෙයිනි. මෙසේ නොවී තිබුණේ නම් කිතුනු මව්තුමිය මෙන්ම මෙහෙණීන් වහන්සේ නමක් වුවද දකින පිරිමියෙකුට ගෞරවය වෙනුවට ඇති විය හැක්කේ කුමන ආකාරයේ චෛතසික හැඟීම් ද යන්න ගැන අමුතුවෙන් අටුවා ලිවීමේ අවශ්‍යතාවක් නොමැත. මව, දියණිය, සහෝදරිය, බිරිය යනාදී ගෞරවනීය මිනිස් බැඳියාවන්ට උරුමකම් පෑමට හැකියාව ඇත්තේ කාන්තාවකට පමණි. ඇයව වෙළඳ භාණ්ඩයක් බවට පත් කොට ලිංගික සන්තර්පණයේ මාර්ගයක් පමණක් බවට පත් කළ විට සිදු විය හැකි සමාජ ව්‍යසනය පිළිබඳව අපගේ අවධානය යොමු කළ යුතු නොවන්නේද? අද සිදු වී හෝ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? ස්ත්‍රිය අඩුවෙන් ඇඳුම් අඳින විට ආගමික නායකයින් ඇතුළු සමාජයේ බහුතරය මුනිවත රකිති. මෙම භයානක නිහැඬියාව අපට හඬ නගා පවසන්නේ කුමක්ද? මුළු මහත් සමාජ ව්‍යුහයම සදාචාර සෝදාපාළුවකට ලක් වී ඇති බව නොවේද? රණස්ගල්ලේ හිමියන් රචිත ‘ලෝකෝපකාරයෙහි’ එන “ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” යන වදනට අනුව වර්තමාන සමාජ නායකත්වය අන් අයට යහ ඔවදන් නොදී, ඔවුන්ව සදාචාරයේ මගට නොකැඳවා සිටින්නේ තමා සම්මතයේ නොමැති නිසාද කියා අසන්නට අපට සිදුවෙනවා නොවේද?

    වඩාත් අදහාගත නොහැකි කරුණ බවට පත් වී ඇත්තේ ස්ත්‍රියක් තමන්ගේ සංස්කෘතිය අනුව සදාචාර සම්පන්න ලෙස ඇඳුමින් සැරසී සමාජගත වන විට මතු කරන්නා වූ අවලාදයන් ගැනය. මෙවන් සදාචාර විරෝධී හඬ දහමක නමින් එන විට මුළු සමාජයම පත් වන්නේ කුමන තත්වයකටද? අසංවරකම ප්‍රගුණ කරන්නට දරන්නාවූ වැයමක් ලෙස මෙය හඳුන්වාදිය නොහැකිද? දරුවන් ඇති යහ දෙමව්පියන් මේ පිළිබඳව දක්වන ප්‍රතිචාරය කුමක්ද? කාගේ හෝ සැඟවුණු න්‍යාය පත්‍රයකට අනුව හෝ තවත් ශ්‍රී ලාංකේය ජනවාර්ගික කොටසක් කෙරෙහි ඇති තමන්ගේ පදනම් විරහිත වෛරය නිසා හෝ යහ චින්තනයකින් තොරව සමාජ සදාචාරය පිරිහීමට දිරි දෙන අයුරින් කටයුතු නොකළ යුතු යැයි ඉතා නිහතමානීව අපි ඉල්ලා සිටින්නෙමු. නුතන වාණිජ සමාජය විසින් ස්ත්‍රීයව වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කර තිබීම ගැන කිසිම හඬක් ඇසෙන්නේ නැත. ශරීරයෙන් 5% ක් පමණ වසා ගත් තරුණියන්ගේ රාගය දනවන රූප රාමු වෙළෙඳ දැන්වීම් වලට යොදා ගැනීම ගැන දහම් ගැන කථා කරන්නන් මුනිවත රකිමින් රහසිගත වින්දනයක යෙදී සිටින්නේදැයි අසන්නට තරම් කාරණයක් බවට පත්වී ඇත. කසාය බිව් ගොළුවා සේ මෙම උදවිය කටයුතු කරන්නේ මන්ද? මෙවන් රූප රාමු වලට තම මව, බිරිය, සහෝදරිය හෝ දියණිය ඉදිරිපත් කරන්නට අපි අකැමැති වන්නෙමු. අවාසනාවට, පිටස්තර ස්ත්‍රීන්ගේ කාමුක දර්ශන දෙස බලා මානසික වශයෙන් රෝගී වින්දනයක් ලබාගන්නට සමහරුන් හුරු වී ඇති අතර මෙම රෝගයේම කොටසක් ලෙසින් තම ශරීරය සදාචාර සම්පන්න ලෙස වසාගන්නා වූ ස්ත්‍රීන්ට අවලාද නගන්නටද හුරු වී සිටිත්. සාරධර්ම හා සදාචාරයෙන් යුත් සමාජයක් ගොඩ නැගීම සඳහා වූ ඉස්ලාමීය ඉගැන්වීම් ගැන විරුද්ධත්වය පාමින් ඊනියා ස්ත්‍රී අයිතිවාසිකම් ගැන කතා කරන්නන්ගේ සැඟවුණු අරමුණු කුමක්ද යන්න දැන් පැහැදිලි වී ඇතැයි සිතන්නෙමු.

    සත්ව ලෝකයේ ඇඳුම් අඳින්නේ මිනිසා පමණි. මිනිසා සහ සත්ව ලෝකයේ අනිකුත් සතුන් අතර ඇති වෙනස්කම් අතුරින් ප්‍රධාන එක් වෙනස්කමක් ලෙස මෙය සැලකිය හැකිය. අප පමණක් මෙසේ කරන්නේ ඇයිද යන ප්‍රශ්නයට ලැබිය හැකි නිවැරදිම පිළිතුර වන්නේ මිනිසාට පමණක් උරුම වූ ලැජ්ජ බය මත පදනම් වූ සදාචාරය යැයි පැවසීම ඉතාමත් නිවැරදිය. එම නිසා ඇඳුම යනු සදාචාරය හා බැඳුනු ක්‍රියාවක් ලෙස අපට ඔප්පු වන ක්‍රියාවකි. සදාචාරය හා බැඳීමක් නොමැත්තෙකුට ඇඳුම් පිළිබඳ ගැටලුවක් බොහෝ විට නොමැති අතර ඇඳුමේ ප්‍රමාණය අඩුවෙන තරමට හෝ ඇඳුම් නොමැතිවීම හෝ හොඳ යැයි සිතීමට ඉඩ ඇත. අප යහ මිනිසුන් යැයි හඳුන්වන්නේ සදාචාර සම්පන්න වුවන්ට යැයි පැවසීම ලොව ඕනෑම සමාජයක් පිළිගන්නා වූ යථාර්ථයකි. සදාචාරය සෑම දහමකම මුලික පදනම ලෙස සැලකෙන්නේ එහෙයිනි.

    පිරිමියෙකුට තම පෙකණියේ සිට දණහිස වැසෙන පරිදි ඇඳුමක් ඇඳීම සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස කිසිවෙක් දකීවියි අපි නොසිතන්නෙමු. නමුත් එම ඇඳුම ස්ත්‍රියකට කෙසේ නම් සුදුසු විය හැකිද? පෙකණියේ සිට දණහිස දක්වා ඇඳුමක් ඇඳගත් පිරිමියෙකු තම ගෙවත්තේ වැඩ කරන විට එය අසලින් යන පිටස්තර ස්ත්‍රීන්ට ඔහු ලිංගික ආකර්ෂණයක් නොවන බව අපි ඉතාම හොඳින් දනිමු. නමුත් එම ඇඳුමම ඇඳ ස්ත්‍රියක් එම කාර්යයේම නියැළුනහොත් සිදුවිය හැකි කලබැගෑනිය පිළිබඳව අමුතුවෙන් කිව යුතු වන්නේද? මෙයින් පෙනෙන්නේ ස්ත්‍රී පිරිමි දෙකොටසේම ඇඳුම් සම විය නොහැකි බව නොවේද?

    නුතන මනෝ විද්‍යාව අපට උගන්වන්නේ පුරුෂයින්ට හා ස්ත්‍රීන්ට ලිංගික උත්තේජනය සිදුවන ආකාරයේ වෙනසක් ඇති බවය. අඩු ඇඳුමින් සැරසුණු පිරිමියෙකු දැකීමෙන් ස්ත්‍රියකගේ මනසේ ලිංගික පිබිදීමක් ඇතිවන්නේ ඉතාමත්ම අල්ප වශයෙන් බවත් ස්පර්ශය තුළින් ඇගේ හැඟීම් අවදිවීම ඉතා අධිකව සිදුවන්නක් බවත් මනෝ විද්‍යා සොයා ගැනීමෙන් තොරව වුවත් අප අත්දකිනා සත්‍ය කරුණකි. අනෙක් අතින් අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රියකගේ ශරීරය දැකීමෙන් පිරිමියෙකුගේ සිත තුළ ඇතිවන රාගික හැඟීම් ඉතාමත්ම අධික බවත් අප දන්නා සත්‍යයකි. නැවත වරක් අප පැවසිය යුතුව ඇත්තේ තමන්ගේ මව, බිරිය, දියණිය හෝ සොයුරිය මහමග බහුතරයකගේ රාගික හැඟීම් ඇවිස්සීමේ ආධාරකයක් බවට පත්වීම සදාචාර සම්පන්න කිසිම පිරිමියෙක් අනුමත කරන ක්‍රියාවක් නොවන බවය. නමුත් පිටස්තර ස්ත්‍රීන් එසේ තමන්ගේ රාගය ඇති කරවන භාණ්ඩයක් බවට පත්වීම අපේක්ෂා කරන පිරිමින්ද අප සමාජයේ දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් බව පැවසිය යුතුව ඇත. මෙවන් ‘රෑ දනියෙල් දවල් මිගෙල්’ චරිත නිසා සිදු වී ඇති හානිය ඉමහත්ය. මනසේ මවා ගත් හරයක් නැති මතවාදයන් ඉදිරිපත් කරමින් සමාජය නොමඟ යවන්නට යමෙක් කටයුතු කරයි නම් එය ඉතාමත්ම පහත් ක්‍රියාවකි.

    මුස්ලිම් කාන්තාව තම ශරීරය හොඳින් වැසෙන පරිදි ඇඳුම් අඳින්නේ පිරිමින්ගේ “බලපෑම්” නිසා බවටද මතයක් ඇත. මෙය පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන ඉතාමත්ම අර්ථ විරහිත අදහසකි. සදාචාර සම්පන්න ස්ත්‍රිය නිරන්තයෙන් උත්සාහ කරන්නේ ලැජ්ජ බය ඇතිව යහ අයුරින් ඇඳුම් අඳින්නටය. තම ශරීරය හොඳින් වැසෙන්නට ඇඳුම් අඳින ස්ත්‍රියගේ මනස තුළත් ඇති වන්නේ ලැජ්ජ බය මුසු වූ තමාගේ චරිතයේ පිරිසිදුභාවය පිළිබඳ හැඟීම්ය. තම ශරීරය හැකි තරම් විවෘතව තබා ගන්නට වෙර දරන අයගේ මනසේ ඇත්තේ මෙයට හාත්පසින්ම වෙනස් වූ තත්වයකි. තම ශරීරය විවෘතව තබා ගැනීමෙන් දන්නා හා නොදන්නා පිටස්තර පිරිමින්ගේ අනවශ්‍ය අවධානයට තමා ලක් වන අතර ඔවුන්ගේ ලිංගික අභිලාෂයන්ගේ ඉලක්කයක් බවටද පත් වීම වළක්වාගත නොහැකි කරුණක් වනු ඇත. මහමග පිරිමින්ගේ ආශාව පිරුණු දෙනෙත් තමා වෙත යොමු වන විට යහ ස්ත්‍රීන් පත්වන්නේ ඉතාමත් අසීරු තත්ත්වයකටය. මෙවන් අනවශ්‍ය අවධානයකට වැඩිපුරම ලක්වන්නේ ශරීරය හොඳින් වසා ගත් ස්ත්‍රීන්ද නැතිනම් අඩනිරුවතින් හා ශරීරයටම ඇලෙන පරිදි ඇඳුම් ඇඳ මහමග සැරිසරන ස්ත්‍රීන්ද? වැඩි අවධානය යොමු වන්නේ අඩනිරුවත් ස්ත්‍රීන් කෙරෙහි බව කිසිම සැකයක් නොමැත. මෙවැනි තත්වයන් නිසා ස්වභාවයෙන්ම ශාරීරිකව දුර්වල ස්ත්‍රිය බොහෝ විට ලිංගික බලහත්කාරකම් හා අතවර වලට ලක් විය හැකි ඉඩකඩ ඉතාමත්ම අධිකය. අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා තැබීමෙන් ඇති ඵලය කුමක්ද? හානියක් වන්නට පෙර නිසි පියවර ගැනීම වැදගත් බව මෙයින් පැහැදිලි නොවන්නේද?

    පහතින් දක්වා ඇත්තේ ඇමෙරිකාවේ අතිප්‍රසිද්ධ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක් විසින් අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රීන් සම්බන්ධව පිරිමින් ක්‍රියා කරන ආකාරය ගැන පවත්වන ලද පර්යේෂණයක් මගින් සොයා ගත් කරුණු පිළිබඳ විස්තරයකි. අපගේ අමතර විස්තර කිරීමකින් තොරව අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රියකගේ තත්වය කුමක්ද කියා මෙමගින් ඔබට අවබෝධ කරගන්නට හැකි වේවි යැයි සිතන්නෙමු.

    පුරුෂයින්ගේ හැසිරීම පිළිබඳව කරන ලද පර්යේෂණයකට අනුව පිහිනුම් ඇඳුමින් සැරසුණු (කාමුක) කාන්තාවන්ව කෙළි භාණ්ඩයක්‌ ලෙස දකින්නට ප්‍රබෝධයක් පිරිමින්ගේ සිත් තුළ ඇති කරවයි.

    නැෂනල් ජියොග්රැෆික් නිව්ස්

    ඇමරිකාවේ, චිකාගෝ නගරයේ සිට ක්‍රිස්ටීන් ඩෙල් ඇමෝ වාර්තා කරයි

    පුරුෂයින්ගේ හැසිරීම පිළිබඳව කරන ලද අලුත්ම පර්යේෂණයකට අනුව පිහිනුම් ඇඳුමින් සැරසුණු කාමුක කාන්තාවන්ව භාණ්ඩයක්‌ ලෙස දකින්නට ප්‍රබෝධයක් පිරිමින්ගේ සිත් තුළ ඇති කරවන බව ඔප්පු වී ඇත. අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රීන්ගේ පින්තූර පිරිමින්ට පෙන් වූ විට උපකරණයක් හෝ මෙවලමක් දුටු විට ඔවුන්ගේ මොළයේ උද්දීපනය වන කොටස අවදි වූ බව ස්කෑනයක (පරිලෝකනයක) මාර්ගයෙන් සනාථ කර ගෙන ඇත. ඇමෙරිකාවේ ඉතා ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක් වූ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක් වූ සුසාන් ෆිස්ක් විසින් කරන ලද මෙම පර්යේෂණය අනුව අඩු ඇඳුමින් සැරසුණු කාන්තාවන්ගේ පින්තූර දුටු විට පිරිමින්ගේ සිත් තුළ උත්තම පුරුෂ ක්‍රියා පදයන් වූ “මම තද කරමි, මම බදා ගනිමි, මම හසුරුවන්නෙමි” යනාදී අදහස් ඇති වන බවද මෙම මනෝ විද්‍යාඥවරිය පවසා ඇත.

    ෆිස්ක් මහත්මියගේ ප්‍රකාශනයක් අනුව ඉතාම කම්පනීය සොයා ගැනීම වුයේ මෙම පරීක්ෂණයට සම්බන්ධ වූ ඇතැම් පිරිමින්ගේ මොළයේ මෙම පර්යේෂණ අවස්ථාවේදී තවත් අයෙකු මුණ ගැසුන විට අනිකාගේ අදහස් පිළිබඳව සිතන ස්ථානයේ කිසිදු ක්‍රියාකාරකමක් දක්නට නොලැබුණු බවයි. මෙයින් අදහස් වන්නේ මෙම පිරිමින් ස්ත්‍රීන් සම්බන්ධව දකින්නේ ලිංගිකත්වයට ආරාධනා කරන අය ලෙස බවත් එම ස්ත්‍රීන්ගේ සිතුවිලි පිළිබඳව තැකීමක් මෙම පිරිමින් අතර නොතිබුණු බවයි. මෙය සාමාන්‍යයෙන් කිසිසේත්ම සිදුවන තත්වයක් නොවෙයි යන්නත් ඇයගේ අදහසයි.

    විෂම ලිංගික(ස්ත්‍රී/පුරුෂ) චර්යාවන් ඇති පිරිමි 21 දෙනෙකු තෝරා ඔවුන්ගේ ලිංගික ආකල්පයන් ගැන පළමුව පරීක්ෂණයක් පවත්වන ලදී. මෙම පරීක්ෂණයට පැමිණි පිරිමින්ට අඩුවෙන් ඇඳගත් කාන්තාවන්ගේ හා හොඳින් ඇඟ වැසෙන පරිදි ඇඳ ගත් පිරිමින්ගේ හා කාන්තාවන්ගේ පින්තූර පෙන්වන ලදී. පිරිමින්ගෙන් බහුතරය හිස පෙදෙස නොමැති බිකිනි ඇඳ ගත් කාන්තාවන්ගේ රුප තත්පරයෙන් 1/5 ක් වූ කාලයකට පෙන්වුවත් ඒවා ඉතා හොඳින් මතකයේ රඳවා ගෙන තිබුණු බව දක්නට ලැබිණ. මේ බව ෆිස්ක් මහත්මිය විසින් ඇමරිකානු විද්‍යාඥන්ගේ සංගමයකට වාර්තා කර තිබිණ.

    දරුණු ලිංගිකත්වයක් ඇති පිරිමින් ලෙස වැඩිම ලකුණු ලබා ගත්තේ පිරිමින්ගේ ක්‍ෂේත්‍රය ආක්‍රමණය කරන හා පාලනය කරන උදවිය ලෙස ස්ත්‍රීන්ව දුටු අයයි. එයට අමතරව මිනිසත් බවක් ඇති, සිතීමට හැකි, චේතනාවන් ඇති අයෙක් දුටු විට මොළයේ ඇති වන ආකාරයේ කිසිම ක්‍රියාකාරිත්වයක් මෙම බිකිනි ඇඳ ගත් ස්ත්‍රීන්ව දුටු විට ඔවුන්ගේ මොළයේ දක්නට නොතිබිණ. විද්‍යාඥයින් විසින් මෙවැනි මොළයේ කිසිම ක්‍රියාකාරිත්වයක් මෙයට පෙර නොදැක තිබුණේ නිවාස නොමැති හා මත් ද්‍රව්‍යයන්ට අබ්බැහිවුවන්ගේ පින්තූර පෙන් වූ විට පමණි.

    නැෂනල් ජියෝග්‍රෆි ප්‍රවෘත්තියට ෆිස්ක් මහත්මිය විසින් පවසා සිටි පරිදි මෙවන් අධ්‍යයනයක් ස්ත්‍රීන්ව සම්බන්ධ කරගෙන අඩු ඇඳුමින් සැරසුන පිරිමින්ගේ ශරීර පෙන්වුයේ නම් මෙවන් ආකාරයෙන් එම පිරිමින්ව අමනුෂ්‍ය (භාණ්ඩයක) තත්වයට ඔවුන් විසින් පත් නොකරනු ඇත යන්නය.

    පරිනාමීය මනෝ විද්‍යාඥයින්ගේ මතය වුයේ ස්ත්‍රීන් වස්තුව හා බලය ඇති සහකරුවන් කෙරෙහි කැමැත්තක් දක්වන බවයි. එහෙයින් ෆිස්ක් මහත්මියගේ සහායකයන් විසින් අධික මිලැති වාහන හා අනෙකුත් ධනවත් සංකේත අසල සිටිනා පිරිමින්ගේ පින්තුර පෙන්වා මෙවැනි පරීක්ෂණයක් කරන්නට යෝජනා කරන ලදී.

    නමුත් ෆිස්ක් මහත්මියගේ අදහස වන්නේ එය එලෙසින්ම සිදුනොවනු ඇත යන්නය. මෙයට හේතුව ස්ත්‍රීන් තමන් කැමති පිරිමින් පිළිබඳව ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ ඔවුන්ගේ මනස පිළිබඳ අවබෝධයක් ඇති කරගැනීමෙන්, ඔවුන් කැමති දේවල් පිළිබඳව කල්පනාකාරී වීමෙන් හා ඉන් පසු ඔවුන්ව සතුටු කිරීමට උත්සාහ කිරීමෙන් වන නිසාය.

    ඉස්ලාමයේ මතය

    “නබිවරයාණෙනි, නුඹගේ භාර්යාවන්ටද, නුඹගේ දියණියන්ටද, විශ්වාසවන්තයින්ගේ ස්ත්‍රීන්ටද, ඔවුන් තමන්ගේ ජිල්බාබය (නිවසින් බැහැර යනවිට ශරීරය වැසෙන පරිදි අඳින කබාය) ඔවුන් වැසෙන පරිදි අඳින ලෙස පවසවූ. මෙය ඔවුන් (ගෞරවනීය අය යැයි) හඳුනා ගැනීමට ද හිංසනයෙන් සුරක්ෂිත වීමට ද ඉතාමත් යෝග්‍ය වන්නේය. අල්ලාහ් අති ක්‍ෂමාශීලීය, අති කරුණාභරිතය.” (අල් කුර්ආනය 33:59)

    “තවද, (නබිවරයාණනි) විශ්වාස කරන ස්ත්‍රීන්ට, තමන්ගේ බැල්ම පහත හෙළන්නටද, තමන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරගන්නටද, තමන්ගේ දේහ අලංකාරය (සාමාන්‍යයෙන් පිටත පෙනෙන දේ හැර) නොපෙන්වන ලෙසටද තමන්ගේ ළැම පෙදෙස සළුවකින් ආවරණය කරගන්නටද පවසවූ.” (24:31)

    “තවද, නුඹගේ නිවෙස්හි රැඳී සිටින්න. (අල් කුර්ආනය පහළ කිරීමට) පෙර වූ අඥාන යුගයේ මෙන් දේහ අලංකාරය ප්‍රදර්ශනය කරමින් නො ඇවිදින්න.” (33:33)

    “ආදම්ගේ දරුවනි, සැබැවින්ම නුඹගේ රහස්‍ය අවයව වසා ගැනීමටද අලංකාරයක් ලෙසද සළු පිළි ප්‍රදානය කළෙමු. නමුත් (දෙවිඳුන් කෙරෙහි) බිය භක්තිමත් බව නම් වූ සළු පිළි (එයට වඩා) උතුම්ය” (7:26)

    “එක් එක් දහමකටම අයත් සදාචාරාත්මක පිළිවෙත් ඇත. ඉස්ලාමයේ සදාචාරය ලැජ්ජා බය (අල් හයා) මත සකස් වී ඇත.” (නබි වදනක්-ග්‍රන්ථය: අල් හාකිම්)

    “ලැජ්ජා බය (අල් හයා) ඊමානයේ කොටසකි. ඊමානය ස්වර්ගයට මග පෙන්වයි” (නබි වදනක්)

    බුදු දහමේ මතය

    “ආරාමසීලා උය්යානං නදී ඤාති පරකුලං

    දුස්සමන්ඩන මනුයුත්තා යාචිත්ථි මජ්ජපායිනි.

    යාව නිල්ලොකන සිලා යාව පද්වාරඨායිනි,

    නවහි එතෙහි ඨානෙනිපදොස මාහරන්ති ඉත්ථියො”

    (කුණාල ජාතකය)

    ස්ත්‍රීන් විසින් සැමියාට වරද කරන කරුණු නවය.

    සැමියාගේ අවසරයක් නැතිව ආරාමයන්ට යන්නාවූ ද

    සැමියාගේ අවසරයක් නැතිව උයන් වලට යන්නාවූ ද

    සැමියාගේ අවසරයක් නැතිව ගංගා සමීපයට යන්නා වූ ද

    සැමියාගේ අවසරයක් නැතිව නෑ ගෙවලට යන්නා වූ ද

    සැමියාගේ අවසරයක් නැතිව අනුන්ගේ ගෙවලට යන්නා වූ ද

    වස්ත්‍ර අලංකාර කිරීමෙහි යෙදෙන්නා වූ ද

    මත්පැන් පානය කරන්නා වූ ද

    නිතර කවුළු ආදියෙන් පිටත බලන්නා වූ ද

    තමා ගේ අවයව දක්වමින් දොරකඩ වෙසෙන්නා වූ ද

    ස්ත්‍රීහු මේ කරුණු නවයෙන් සැමියාට වරද කෙරෙති.

    (මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් ලියන ලද “බුද්ධ නීති සංග්‍රහය” ග්‍රන්ථයේ 154 වැනි පිටුවෙන් උපුටා ගන්නා ලදී).

    කිතුනු දහමේ මතය

    “කාන්තාවක පුරුෂයෙකුගේ ඇඳුම් ඇඟ ලා නොගත යුතු ය. පුරුෂයෙකු ස්ත්‍රියකගේ ඇඳුම ඇඟ ලා නොගත යුතුය. එලෙස කරන සියල්ලෝ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි” (ද්විතීය නීති සංග්‍රහය 22:5)

    “එසේම, ස්ත්‍රී පක්ෂය කොණ්ඩා මෝස්‌තර ද, රන් මුතු ආභරණ ද, අනර්ඝ වස්ත්‍ර ද, යන මේවායින් වැළකී ඔබින, විනීත ඇඳුම් ඇඳ ගත යුතුය.” (1 තිමෝති 2:9)

    “ඔබගේ අලංකාරය, කොණ්ඩා මොස්තර ද, රන් රිදී ආභරණ ද ඇඳුම් පැලඳුම් ද, යන බාහිර දේ පිට රඳා නොතිබිය යුතුය. එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නඟින කාරුණික තැන්පත් ගති පැවතුම් මඟිනි.” (1 පේදුරු 3:3-4)

    “හිස නොවසා යාච්ඤා කරන හෝ දිවැස් වැකි පවසන ස්ත්‍රිය තමාගේ ප්‍රධානියාට අගෞරව කරයි. එසේ කිරීම ඈ හිස මුඩු කර ගැනීම වැනිය. ස්ත්‍රියක් හිස වසා නොගනී නම් ඈ හිසකේ කපා ගනී වා. හිස මුඩු කිරීම හෝ හිසකේ කැපීම ස්ත්‍රියකට ලැජ්ජාවක් නම් ඈ හිස වැස්මක් ඇති ව සිටීවා.” (1 කොරින්ති 11:5-6)

    “කාම මිත්‍යාචාරය නොකරන්නැයි කී බව ඔබ අසා ඇත. එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාම රාගයෙන් බැලු කෙණෙහි ම ඔහු ඈ සමග සිතින් කාම මිත්‍යාචාරය කර ඇත. වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න. මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයව වලින් එකක් නැති වීම ඔබට යහපත්ය.” (ශුද්ධවර මතෙව් 5:27-29)