පරිණාමවාදය පිළිබඳ විමසුමක්
ප්‍රවර්ග / වර්ගීකරණයන්
Full Description
පරිණාමවාදය පිළිබඳ විමසුමක්
] Tamil – සිංහල–[ سنهالي
මහම්මද් මන්සූර් දහලාන්
2013 - 1435
مناقشة نظرية تطور الإنسان
« باللغة السنهالية »
محمد منصور دحلان
2013 - 1435
පරිණාමවාදය පිළිබඳ විමසුමක්.
පරිණාම වාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්.එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත් ව ගිය ඩාවින් විසින් පුරා වසර පහක් තිස්සේ විවිධ සත්වයින්ගේ වෙනස්කම් හා පරිසරයේ අවශ්‍යතාවන් අනුව හැඩගැසීම් සිදු වී ඇති ආකාරය අධ්‍යයනය කරන ලදී. මෙම කරුණු සියල්ල කැටි කොට 1859 දී The Origin Of Species යන ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ග්‍රන්ථයේ ඔහු විසින්ම පිළි ගත් ආකාරයට මෙම මතයන් ඉදිරිපත් කර ඇත්තේ තමා විසින් නිරීක්ෂණය කරන ලද කරුණු මත පදනම් කර ගත් උපකල්පනයන් වශයෙනි. මෙම ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයක සිරස්තලය වන්නේ මෙම වාදයේ දුෂ්කරතාවන් (Difficulties Of The Theory) යනුවෙනි. ඩාවින් අපේක්ෂා කළේ ඉදිරි කාලයේදි සිදු විය හැකි විද්‍යාත්මක සොයා ගැනීම් මෙම දුෂ්කරතාවන්ට විසදුම් සපයනු ඇතැයි යන්නයි. නමුත් සැබැවින්ම සිදු වුයේ නුතන විද්‍යාත්මක සොයා ගැනීම් මගින් ඔහු ඉදිරිපත් කළ මතයන් පිළිබඳව විසඳුම් ලබා දිය නොහැකි ආකාරයේ නව දුෂ්කරතාවන් රාශියක් මතු වීම පමණි. මෙම හේතු පදනම් කර ගෙන පරිණාම වාදය ඇමරිකානු පාසැල් පෙළ පොත් වලින් ඉවත් කරන්නට එරට අධ්‍යාපන බලධාරින් විසින් වර්ෂ කිහිපයකට පෙර තීරණය කරන ලදී.
ඩාවින්ගේ යුගයත් සමග ලොව ඉතා පුළුල්ව පැතිර ගිය මාක්ස්වාදි චින්තනයට පරිණාම වාදය නැතිවම බැරි කරුණක් විය. දෙවිඳුන් පිළිබඳ විශ්වාසයෙන් බැහැර වු භෞතිකවාදි (Materialistic) සංකල්පයක් වු මාක්ස්වාදය මිනිසාගේ සම්භවය පිළිබඳව විග්රහයට උපයෝගි කර ගත්තේ පරිණාම වාදයයි. මේ හේතුවෙන් විද්‍යාත්මක පදනමක් නොතිබුණු පරිණාම වාදයට මාක්ස්වාදී රටවල් හා එම චින්තනය වැලඳ ගත් මාක්ස්වාදී නොවු රටවල උදවියත් ඉතා ඉහළින් මෙය විද්‍යාත්මක සංකල්පයක් බව ලොවට ඉදිරිපත් කිරීමට වෙර දැරූහ. මෙම වාදයේ අඩු පාඩු හා දුෂ්කරතාවන් සාකච්ඡා කිරීමට ඉතා විශාල පිටු ප්‍රමාණයක් අවශ්‍ය වන අතර මෙම ලිපියේ සිමාවන් සැලකිල්ලට ගෙන කරුණු කිහිපයක් පමණක් ඔබට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.
1. ඩාවින්ගේ ග්‍රන්ථයේ කිසිඳු තැනක ජීවයේ සම්භවය පිළිබඳව කිසිඳු සටහනක් නොමැත. ඔහුගේ යුගයේ උදවියගේ මතය වුයේ ජීවීන්ගේ ව්‍යුහය ඉතා සරල එකක් බවයි. මෙයට එක් හේතුවක් වුයේ නුතන විද්‍යාත්මක උපකරණ එම යුගයේ සොයා ගෙන නොතිබීම බව දැක්විය හැක. ජීවයේ නිර්මාතෘ දෙවිඳුන් බව පිළිනොගන්නා වූ පරිණාම වාදය ප්‍රකාශ කරන්නේ පළමු ජීව සෛලය ස්වභාවික තත්ත්වයක් තුළ කිසිඳු සැලැස්මක් හා සැකසුමකින් තොරව අහම්බෙන් ඇති වු බවයි. ඩී.එන්.ඒ. (DNA) සහ ආර්.එන්.ඒ. (RNA) පිළිබදව විද්‍යාත්මක සිද්ධාන්තයක් ඩාවින්ගේ යුගයේ සොයා ගෙන නොතිබු හෙයින් මේවායෙහි ඇති සංකීර්ණ ව්‍යුහාත්මක ස්වභාවය පිළිබඳව නියත වශයෙන්ම ඩාවින් දැන නොසිටි බව සත්‍යයකි. සෛලයක පුනර් නිර්මාණය සදහා ඩි.එන්.ඒ (සෛලයේ සැලසුම් ව්‍යුහය) හා ආර්.එන්.ඒ. (නව සෛලය නිර්මාණය කිරීමේ පිටපත් ක්‍රියාවලිය) අත්‍යවශ්‍ය වෙයි. මිනිසාට සිතා බලන්නටවත් නොහැකි ආකාරයේ ඉතා සංකීර්ණ ව්‍යුහයක් ඇති මෙම සාධක දෙක අහම්බෙන් කෙසේ බිහි වුයේද නැතිනම් බිහි විය හැක්කේද යන්න ඩාවින් හෝ නුතන විද්‍යාඥයෙකුට වුවද පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ නොහැකි කරුණක් වී ඇත. මිනිස් ඩී.එන්.ඒ. එක් අණුවක් තුළ අඩංගු වී ඇති තොරතුරු සම්භාරය මුද්‍රණය කළහොත් එය විශාල පුස්තකාලයක් පිරවිමට තරම් ප්රමාණවත්ය. එක් ජීව සෛලයක් පුනර් නිර්මාණය කිරීම සදහා අත්‍යවශ්‍ය ඩි.එන්.ඒ. සහ ආර්.එන්.ඒ. අණු කෙසේ නම් එක් වරම ඇති වුයේද යන්න ඩාවින්ට හෝ අන් අයෙකුට විග්රහ කළ හැකි දෙයක් නොවේ. මෙම නිර්මාණ ක්‍රියාවලිය පිටුපස අතිශය බුද්ධිමත් සැලැස්මක් ඇති බව කාටත් පෙනෙන කරුණකි. මෙය නිසැකවම හා නිශ්චිත වශයෙන්ම සිදු විය හැක්කේ සර්වඥානි නිර්මාතෘ කෙනෙකුගේ සැලසුම් සහගත නිර්මාණයක ප්‍රතිඵලයක් වශයෙන් පමණක් බව බොහෝ විද්‍යාඥයින්ට නුතනයේදී පිළිගැනීමට සිදු වි ඇත.
2. පරිණාම වාදය සත්‍යයක් නම් එය නිරන්තර යෙන්ම සිදු වෙමින් පවතින්නාවු සංසිද්ධියක් විය යුතුය. මෙය සත්‍යය නම් අදත් අර්ධ වානර අර්ධ මිනිස් ජීවින් අප අතර සිටිය යුතුය. ඕනෑම අයෙකුට ඉතා සරලව තේරුම් ගත හැකි මෙම සාධකය පමණක් ඩාවින්ගේ පරිණාම වාදයේ අවිද්‍යාත්මක භාවය ඔප්පු කිරීමට ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.
3. විද්‍යාඥයින් විසින් දැනට අවුරුදු මිලියන ගණනකට පෙර ජීවත් වු හා අදත් ජීවත් වන සතුන්ගේ පොසිල සොයා ගෙන ඇත. අවුරුදු මිලියන ගණනකට පෙර ජිවත් වු සතුන්ගේ මෙම පොසිල අතුරින් කිසියම් අතරමැදි අර්ධ පරිණාමයට ලක් වු සතෙකුගේ පොසිල හමු වි නොමැත. එදා ජීවත් වී වඳ වී ගිය සතුන්ගේ පොසිල හමු වී ඇති අතර එය එසේ වීමට හේතුව කිසිසේත්ම පරිණාම වාදයට විග්රහ කළ හැකි කරුණක් නොවේ. නුතන පරිණාම වාදීන් මේ පිළිබදව ඉදිරිපත් කරන කරුණු ද පරිණාම වාදයේ මුලික පදනමට පටහැණි එකකි. එම සතුන් ජීවත් වු පරිසරය ඔවුන්ට අහිතකර වුවා නම් වඳ වී නොගොස් පරිණාම වාදය අනුව පරිසරයට හිතකර ආකාරයට තමන්ව හැඩ ගස්වා ගෙන අදත් පවතින්නට ඇති හැකියාවක් සාදා ගන්නට ඔවුන්ට හැකියාව තිබිය යුතුව තිබුණි. එසේ නොවුයේ මන්දැයි විග්රහ කිරීමට පරිණාම වාදය අපොහොසත් වි ඇත. අනෙක අද ජීවත් වන සතුන්ගේ අවුරුදු මිලියන ගණනකට පෙර හමු වු පොසිල හා වත්මන් එම සත්වයාගේ ඇට සැකිල්ල අතරේ වෙනසක් නොමැති බව විද්‍යාඥයින්ගේ සොයා ගැනිමේ තවත් ප්රතිඵලයකි. මෙම තොරතුරු කිසිසේත්ම පරිණාම වාදය හා සැසඳෙන්නේ නැති අතර මෙම වාදයේ පදනම් විරහිත භාවය මෙයින් ඉතා පැහැදිලිව හෙළිදරව් වෙයි.
4. පරිණාම වාදයේ අවිද්‍යාත්මකභාවය පෙන්වීම සදහා ඩි.ඇන්.ඒ. අණුවේ ව්‍යුහය පිළිබඳව සාකච්ඡා කළෙමු. ඒ පිළිබඳව තවදුරටත් විස්තරාත්මක සාකච්ඡා කළහොත් ජීවයේ සම්භවය පිළිබඳව අර්ථවත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ යැයි සිතන්නෙමු. ඩි.එන්.ඒ. අණුව තුළ රසායනික ද්‍රව්‍ය හතරක් ඇත. ඇඩිනින්, තයිමින්, ගුඅනින් හා සයිටොසින් නම් වූ රසායනික ද්‍රව්‍ය හතරකි. මෙම රසායනික ද්‍රව්‍ය හතර සංක්ෂිප්තව A,T,G,C, යනුවෙන් හැදින්විය හැක. මෙම රසායනික ද්‍රව්‍ය හතර DNA අණුව තුළ සකස් වී ඇති ආකාරය අනුව මිනිස් ශරීරයේ සියලු විස්තර එහි අන්තර්ගත කොට ඇත. මෙහි අන්තර්ගත විස්තර ව්‍යවහාර බසට හැරවුවහොත් පිටු 500 ක ග්රන්ථ නවසීයක් පමණක අන්තර්ගත කළ හැකි තොරතුරු දැන ගත හැකි බව විද්‍යාඥයෝ පවසති. DNA අණුව තුළ මෙම ATGC රසායනික ද්‍රව්‍යයන් කටයුතු කරන්නේ භාෂාවක අක්ෂර ලෙසටය. DNA පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාඥයින්ගේ මතය වන්නේ DNA අණුව තරම් තොරතුරු ගබඩා කළ හැකි එම ප්‍රමාණයේ අණුවක් නුතන විද්‍යාව පදනම් කර ගත් තාක්ෂණය තුළින් නිපදවීමට නොහැකි වි ඇති අතර එය කිසිසේත්ම සිදු විය හැකි දෙයක් නොවන බවද ඔවුන්ගේ මතයයි.
ජාන විද්‍යාඥයින් DNA අණුවේ ඇති සංකේත භාෂාව ව්‍යවහාර භාෂාවට පරිවර්තනය කොට එම සෛල හිමි ජිවියාගේ විශේෂයෙන්ම කායිකවේදී තොරතුරු ලබා ගනිති. මෙයින් පැහැදිලි වන්නේ DNA අණුව තුළ අති විශාල තොරතුරු ගබඩා කර තැබීමේ භාෂාවක් ඇති බවය. සංකේත භාෂා ඇතුළුව සියලු භාෂාවන්ට එහි අඩංගු විය යුතු කොටස් හතරක් ඇත. ඒවා නම් අක්ෂර, ව්‍යාකරණ, පද සංයෝජනය (syntax), හා අර්ථය යන කරුණුය. මෙම කරුණු නොමැතිව භාෂාවක් මගින් අදහස් හුවමාරු කර ගැනීමට නොහැකි වනු ඇත. එලෙස කරුණු දැක්වීම අවබෝධ කර ගැනීමට ද නොහැකි වනු ඇත. සංකේත භාෂාවෙන් DNA අණුව තුළ ගබඩා කොට ඇති තොරතුරු කියවා තේරුම් ගැනීමට හැකි වී ඇත්තේ එය භාෂාවක් වන අතර එහි භාෂාවක අනිවාර්යයෙන් අඩංගු විය යුතු ඉහත සඳහන් කරුණු හතරම ඇති නිසාත්ය. මෙතෙක් සාකච්ඡා කළ කරුණු වලින් මතු වන තර්කානුකුල හා යථාර්ථවාදී නිගමනයන් පහතින් සංක්ෂිප්තව දක්වා ඇත්තෙමු.
* යමක් ක්‍රියාත්මක කිරිමට පෙර අදහසක් චින්තනය තුළ තිබිය යුතුය. අදහසක් චින්තනය තුළ නොමැතිව කිසිවක් ක්‍රියාත්මක කළ නොහැකිය.
* සියලුම භාෂාවන් උත්පාදනය වන්නේ මනස හා චින්තනය පදනම් කරගෙනය.
* මනස හා චින්තනයකින් තොරව බිහි වු කිසිම භාෂාවක් නැත.
* DNA අණුව තුළ ගබඩා කොට ඇති තොරතුරු අවබෝධ කර ගත හැකි වී ඇත්තේ එය භාෂාවකින් සැකසී ඇති නිසාය.
* එමනිසා DNA අණුව නිර්මාණය කොට ඇත්තේ මනස හා චින්තනය පදනම් කර ගෙනය. DNA අණුවෙහි ඇති සංකීර්ණතාව ගැන සැලකිල්ලක් දක්වන විට නිසැකවම එය නිර්මාණයට මුල් වූ මනස හා චින්තනය සර්වඥානියෙකුට හිමි වුවක් විය යුතුය යන්න පිළිගැනීමට කිසිම දුෂ්කරතාවක් තිබිය නොහැක.
* DNA පිටුපස ඇති මනස හා චින්තනය එම අණුවේ නිර්මාතෘට හිමි බව අපට පිළිගන්නට සිදු වේ.
* එනිසා DNA අණුව අහම්බෙන් බිහි වුවක් නොව සර්වඥානි මනසකින් හා චින්තනයෙන් නිර්මාණය වුවක් බවත් අපට පිළිගන්නට සිදු වේ.
* එම සර්වඥානි මනස ජීවයේ නිර්මාතෘ බවත් අපට පිළිගන්නට සිදු වේ.
ඉස්ලාමයේ විවේචකයන් බහුතරයක් ඉස්ලාමයට එරෙහිව ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය නම් පරිණාම වාදයයි. නමුත් විචාර බුද්ධිය, යථාර්ථය, හා නුතන විද්‍යාව උපයෝගී කර ගෙන විමසුමක යෙදෙන විට අපට පෙනී යන සත්‍යය නම් විවේචනයේ සාධකයම ඉස්ලාමයේ අන්තර්ගත පරම සත්‍යය සනාථ කරන්නක් බවට පත් වීමය. මෙයයි ඉස්ලාමයේ ඇති ප්රබලතම ප්රාතිහාර්යය.
අප මෙතෙක් කරුනු ඉදිරිපත් කළේ මිනිසාට පමණක් උරුම වු විචාර බුද්ධිය උපයෝගී කර ගෙන පරිණාම වාදය පිළිබඳව විචාරශීලී ව සලකා බැලීමට ඇති තොරතුරු වලින් කොටසක් පිළිබඳවය. සතුන්ට විචාර බුද්ධිය නොමැති වුවත් ඔවුන්ගේ නිර්මාණයේ විචිත්‍ර භාවයේ හා ඔවුන්ට ජන්මයෙන් ලැබි ඇති ඥානය ගැන කරුණු සොයා බැලීමේදි ඉතා මවිත කර කරුණු රාශියක් අපට දැන ගන්නට ලැබේ. මෙම තොරතුරු වලින් කොටසක් සාකච්ඡා කරන්නට අපි අදහස් කරන්නෙමු. මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ සතුන්ගේ නිර්මාණය පිටුපසින් සර්වඥානි නිර්මාතෘවරයෙකුගේ අදහාගත නොහැකි අලංකාර හා අර්ථවත් සැලසුමක් ඇති බව පෙන්වීමය. අප විවිධ නියාම ගැන කථා කළත් මෙම සියලු නියාම අබිබවා යන විශ්වයේ හා එහි අඩංගු සියල්ලෙහි නිර්මාතෘගේ විශ්ව නියාමයක් ඇති බවත් එය පමණක්ම සදා ක්‍රියාත්මකව පවතින බවත් මෙම සාකච්ඡාව තුළින් අපට අවබෝධ කර ගන්නට හැකි වේ යැයි සිතන්නෙමු. පරිණාම වාදය අනුව පහතින් විස්තර කොට ඇති සතුන් කෙසේ නම් පරිසරයට ක්‍රමයෙන් හැඩ ගැසීමේ පිළිවෙත අනුව වර්තමාන තත්වයට වර්ධනය විය හැකිද යන්න පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්නට කැමැත්තෙමු. මෙම සත්වයින් කෙසේ නම් දැනට ඇති තත්වයෙන් අඩු වර්ධනයක් සහිතව පැවතිය හැක්කේද යන්න පිළිබඳව ද අප සිතා බැලිය යුතුව ඇත.
දිගම බෙල්ල සහිත ජිරාෆ්
සතුන් අතරින් දිගම බෙල්ල තිබෙන්නේ ජිරාෆ් ට බව පිළි ගත් සත්‍යයකි. ජිරාෆ්ගේ මොළයට ලේ පොම්ප කිරීම නිසි අයුරින් සිදු නොවුවහොත් එම සත්ත්වයාගේ ජීවත් වීමේ හැකියාව නැති වී යයි. තම හෘදයෙන් විශාල උසක පිහිටි හිසට රුධිරය නිසි ලෙස පොම්ප කිරීමට නම් අධි පීඩනයකින් එය සිදු විය යුතු වෙයි. නමුත් දිය බීම වැනි කටයුතු වලට ජිරාෆ්ට තම හිස පහතට ගෙන ආයුතුමය. මෙසේ හිස පහතට ගෙන ඒමේදි හිස උසින් තිබු අවස්ථාවේ තිබු අධි පිඩනයෙන්ම මොළයට පොම්ප කිරිමක් සිදු වුවහොත් හිසේ නහර පුපුරා යෑමෙන් මෙම සතාට මිය යන්නට සිදු වෙයි. එනමුත් ජිරාෆ්ට එවැන්නක් සිදු නොවන්නේ හිස පහතට ගෙන ඒමත් සමගම බෙල්ලේ පිහිටා ඇති කපාට (වෑල්ව) නිරායාසයෙන් වැසි ගොස් හිසට ගලා යන රුධිරයේ පිඩනය හා ප්‍රමාණය පාලනය වන හෙයිනි. හිස උසින් පිහිටි විට අධි පිඩනයෙන් ලේ පොම්ප කිරීම හා පහතට හිස ගෙන ඒමේදී එය පාලනය කරන ස්වයංක්‍රීය පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වීමක් නොමැතිව ජිරාෆ්ට ජිවත් විය හැකි තත්ත්වයක් නොමැත. මෙම සැලසුම් ඉබේ හෝ ක්‍රමක්‍රමයෙන් ජිවත් වන පරිසරයට හැඩ ගැසීමක් තුළින් වර්ධනය විය හැකි දෙයක් නොවේ. ජිරාෆ් මිහිතලය මතට බිහි වු දා පටන් මෙම සැලසුම අනිවාර්යයෙන්ම තිබිය යුතු සාධකයක් වෙයි. ඒසේ නොවුණා නම් ජිරාෆ් බිහි වු දිනම ඉහත හේතුන් නිසා මරණයට පත් වි තිබිය යුතුය. ජිරාෆ්ගේ නිර්මාතෘ නිසැකවම සර්වඥානි විය යුතු බවට මෙම සාධකයම ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.
මුහුදු කැස්බෑවා
(Ref: Encyclopedia of Animals –Maurice Burton –C.B.P.C. Publishing House)
මුහුදේ ජිවත් වන මුහුදු කැස්බෑවා බිත්තර දමන සමය ළං වු විගස සමූහයක් ලෙසින් වෙරළට පැමිණෙති. මෙය සාමාන්‍ය වෙරළක් නොවේ. මෙය මෙහි එක් වන සියලුම කැස්බෑවන් දැනට අවුරුදු 20-25 කාලයකට පෙර මෙලොව එළිය දුටු වෙරළයි. ඔවුන් මෙතරම් දිර්ඝ කාලයක් මුහුදේ ජිවත් වෙමින් කි.මි.1000 කට වැඩි දුර ප්‍රමාණයක් මුහුදේ සැරිසරා මාලිමාවක් හෝ අන් කිසිදු උපකරණයක මග පෙන්වීමකින් තොරව තමන් මෙලොව එළිය දුටු වෙරළම සොයා ඒම සැබැවින්ම ආශ්චර්ය ජනක සිද්ධියකි. එම වෙරළේ සාමුහිකව ගැඹුරු වළවල් හාරා බිත්තර දමා එම වළවල් වසා නැවතත් මුහුදේ තමන්ට හුරු ජිවිතය කරා ඔවුන් යති. බිත්තර මෝරා කටුවෙන් එළියට එන කැස්බෑ පැටවුන්ට තනියෙන් තමන්ට ඉහළින් ඇති වැලි ප්‍රමාණය ඉවත් කර ගෙන එළියට ඒමට නොහැක. ඔවුන් එක් තැනක බිත්තර පුපුරා එළියට එන හෙයින් ඔවුන් තමන්ට ඉහළින් ඇති වැලි තල්ලු කර ගෙන ඒමට සාමුහික ප්රයන්තයක යෙදෙති. ඉහළට පැමිණියේ දවල් කාලයේ හිරු රශ්නය වැඩියෙන් ඇති අවස්ථාවේ නම් ඔවුන් අවසාන වැලි තට්ටුව තල්ලු නොකර අඳුර වැටෙන තෙක් එතැනම රැදි සිටිති. අව්රශ්නය වැඩි දවල් කාලයේ ඔවුන් වෙරළ මතුපිටට පැමිණියා නම් අනතුරු කිහිපයකට ඔවුන්ට මුහුණ පාන්නට සිදු වෙයි. රත් වී ඇති වැල්ලෙන් ඔවුන්ට හානි සිදු විය හැක. අනිත් අතින් දවල් එළියත් සමග ඔවුන් ඉතාමත් පහසුවෙන් ගොදුරු සොයන සතුන්ගේ පහසු ගොදුරක් බවට පත්වන්නට ඉඩ ඇත. බිත්තරයෙන් මොහොතකට පෙර එළියට ආ කැස්බෑ පැටවුන් ට මෙම කරුණු කාරණා පිළිබඳව පුර්ව දැනුමක් තිබිය නොහැක. නමුත් ඔවුන් හැසිරෙන ආකාරය දෙස සිතා බලන විට නිශ්චිත වශයෙන්ම ඔවුන්ට මෙවැනි අනතුරු පිළිබඳව පුර්ව දැනුමක් ඇති බව ඉතාම පහසුවෙන් නිගමනය කළ හැක. පෙර පුහුණුවකින් හෝ පුර්වාදර්ශයකින් හෝ තොරව ජන්මයෙන් තමන්ගේ මිහිපිට පැවැත්මේ බාධක මැඩ ගෙන ජිවත් වන්නට මෙම දැනුම ලබා දුන් සර්වඥානි අයෙක් අනිවාර්යයෙන්ම සිටිය යුතුය. එය එම සත්ත්වයාගේ නිර්මාතෘ හැර අන් කවරෙක් නම් විය හැකිද? ස්වභාව ධර්මය යැයි අප හඳුන්වන ක්‍රියාවලිය දෙස විචාරාත්මකව අපගේ නිරික්ෂණය යොමු කරන විට පෙනී යන මහඟු සත්‍යයක් තිබේ. ස්වභාව ධර්මයේ ආශ්චර්යයන් ඉබේ සිදුවන්නක්ද? නැතිනම් අති මහත් විශ්ව සැලැස්මක් හෙවත් නියාමයක කොටසක් ලෙසින් එය ක්‍රියාත්මක වන්නේද යන්න අප විසින් සොයා බැලිය යුතු වැදගත් කරුණක්ව පවතී.
වේයා
වේ තුඹස ඇතුළත සැලස්ම දෙස ඔබ අවධානය යොමු කළහොත් නියත වශයෙන්ම මවිතයෙනුත් මවිතයට පත් වනු ඇත. එහි අභ්‍යන්තර සැලැස්ම නුතන ගෘහ නිර්මාණ ශිල්පීය තාක්ෂණයද පරදවන්නකි. මෙම වේ තුඹස ගොඩ නගා ඇත්තේ ගබඩා කාමර, රෝගී සතුන්ගේ කාමර, වාතාශ්‍රය හා හිරු එළිය ලබා දීම සඳහා විවරයන්, විවිධ කොටස් යා කරන සැලසුම් සහගත මාර්ගයන් සහ අනතුරකදී පිටවීම සඳහා හදිසි පිටවීමේ දොරටු ආදිය ඇතුළුව තවත් සුවිශේෂී අංග කිහිපයකින් යුක්තවයි. මෙහි හැඩය ගොඩ නගා ඇත්තේ ගෘහ නිර්මාණ ශිල්පයේ නිපුණ බවේ පරිපුර්ණතාව ඇතිවය. මෙම වේ තුඹසේ නිර්මාණ කරුවන් වු වේයන් අන්ධයන් බව ඇසුවහොත් ඔබට එය අදහාගැනීමට අසීරු කරුණක් විය හැක. අන්ධ වේයන්ට මෙම නිපුණතාව ලබා දුන්නේ කවුරුන්ද?
මෙලෙස මිනිසා තමා ගැනත් තමා අවට පරිසරය ගැනත් මොහොතක් සිතා බැලුවහොත් මේ සියල්ල පිටුපස එක්තරා නිශ්චිත සැලසුම් සහගත නියාමයක් ක්‍රියාත්මක වන බව අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත. සර්වඥානි සැලසුම් කරුවෙකු නොමැතිව මෙම අලංකාර සැලසුම් හා නියාමයන් ක්‍රියාත්මක විය හැකිද? මෙය සැකයෙන් තොරව අවබෝධකර ගතහොත් විශ්වයේ හා එහි අඩංගු සියල්ල නිර්මාණය කොට පාලනය කරන පරම අධිපති බලයක් ඇති බව ඔබට නිශ්චිත වශයෙන්ම පිළිගැනීමට හැකිවනු ඇත.
ඔටුවා
සත්ව ලෝකයේ එක් විස්මිත නිර්මාණයකි ඔටුවා. කාන්තාරයේ උෂ්ණත්වය සෙ. ග්‍රේ. අංශක 50 ඉක්මවන තත්වයේ අවම වශයෙන් දින අටක් පමණ ජලය හා ආහාර නොමැතිව ජීවිතය රැක ගැනීමට ඔටුවාට හැකියාව ඇත. ජලය ලීටර 130 ක් හා ආහාර කි. ග්‍රෑම්. 30 සිට 50 අතර ප්‍රමාණයක් දිනකට ගැනීමේ හැකියාව ද ඌට ඇත. කාන්තාර පරිසරයට ඔරොත්තු දෙන අයුරින් හිස, නාස්පුඩු, දෙකන්, කාන්තාරයේ තද උණුසුමට මෙන්ම ශීත සෘතුවේ තද සීතලට ඔරොත්තු දිය හැකි ලෙසට සැකසුනු සම සහ ඒ මත වැඩුණු රෝම, මොල්ලිය, පාද, විශේෂයෙන්ම කුර හා දණහිස් පෙදෙස් සකස් වී ඇති ආකාරය සැබැවින්ම මවිතකරය. මෙම මවිතකර සැකසුම ක්‍රමයෙන් පරිසරයට හැඩගැසීමේ පරිණාමවාදී සංකල්පය අනුව කිසිසේත්ම සිදු විය නොහැක්කක් බවට පත් වී ඇත්තේ දැනට ඇති ඔටුවාගේ පිහිටීමේ කිසිම අඩුවක් සහිතව කාන්තාරයේ කටුක පරිසරයට ඔරුත්තු දීමේ හැකියාව ඌට කෙලෙසවත් නොමැති හේතුවෙනි. ඔටුවා දැනට ඇති පරිපුර්ණත්වය සහිතවම මිහිතලය මත විශ්ව නිර්මාතෘ විසින් නිර්මාණය කර ඇති බව මෙයින් සනාථ වන සත්‍යයකි.
පරිණාම වාදයේ අවිද්යාත්මකත්වය
ඉහතින් ඉදිරිපත් කර ඇති කරුණු පරිණාම වාදයේ අවිද්යාත්මකත්වය ප්‍රමාණවත් අයුරින් ඔප්පු කර ඇති බව මධ්‍යස්ථව හා විචාරශීලීව සිතන්නන් හට පිළිගැනීමට කිසිම අපහසුතාවක් තිබිය නොහැක. පරිණාමවාදී මතධාරීන් පවසන්නේ රසායනික සංයුතිය අතින් මිනිසා 99% ක් වානරයින්ට සමාන බවත් රුධිර කැටි ගැසීමේ පරීක්ෂණයන් අනුව මිනිසාගේ සමීපතම ඥාතියා චිම්පන්සීන් බවත් ය. නමුත් කිරි සංයුතියේ විශ්ලේෂණය අනුව මිනිසාට වඩාත් ම සමීප ඥාතියා වන්නේ බුරුවාය. කොලොස්ටරෝල් විශ්ලේෂණය අනුව මිනිසාගේ සමීපතම ඥාතියා වන්නේ සර්ප විශේෂයකි (Garter Snake). කඳුළු වල ඇති එන්සයිම අනුව මිනිසාගේ සමීපතම ඥාතියා වන්නේ කුකුළන්ය. පරිණාම වාදීන් ඉදිරිපත් කරන තර්කයන් හි පදනම් විරහිත භාවය මෙම කරුණු අනුව ඉතාමත් පැහැදිලිව ඔප්පු වන්නකි.
තවත් විද්‍යාඥයෙකු වූ ශ්‍රීමත් ෆ්‍රෙඩ් හොයිල්, (කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයා) පවසන්නේ පරිණාමවාදී මතයන් අනුව සරල ජීවීන් වඩාත් සංකීර්ණ හා දියුණු ජීවීන් දක්වා පරිණාමය වුවා යැයි පැවසීම ගිනි කන්දක් පුපුරා යාමෙන් ගලා ගිය ලාවා මගින් නිරායාසයෙන් බෝයින්ග් 747 ගුවන් යානයක් නිර්මාණය වුවා යැයි පැවසීම හා සමාන බවය. (Nature, Vol. 294, Nov.12, 1981, “Hoyle on Evolution” Page 105).