×
ස්ත්රීل ප්රسජනන අංග ජාතික හා ජාත්යبන්තර ඉස්ලාම් විරෝධීන්ගේ ඉතාමත්ම ජනප්රි.ය මාතෘකාවක් බවට පත් ව ඇති බව විද්යුහත් හා මුද්රි්ත මාධ්යෝයන් හි නිරතුරුව පළවන තොරතුරු විමසා බැලීමෙන් දැන ගත හැකි ව ඇත. අප සමග ඉදිරි තොරතුරු බුද්ධිමත් ව හා යථාර්ථවාදී ව විමසා බලන්නට කරුණාකර එක් වන්න..

    ඉස්ලාම් හා ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය පිළිබඳ සත්‍යය

    ] සිංහල – Sinhala –[ سنهالي

    මුහම්මද් මන්සූර් දහ්ලාන්

    2013 - 1435

    ختان المرأة في الإسلام

    « باللغة السنهالية »

    محمد منصور دحلان

    2013 - 1435

    ඉස්ලාම් හා ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය පිළිබඳ සත්‍යය

    ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (Female Genital Mutilation-FGM) ජාතික හා ජාත්‍යන්තර ඉස්ලාම් විරෝධීන්ගේ හා ඉස්ලාම් භීතිකා වාදීන්ගේ ඉතාමත්ම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් ව ඇති බව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් හි නිරතුරුව පළවන තොරතුරු විමසා බැලීමෙන් දැන ගත හැකි ව ඇත. ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (FGM) පිළිබඳව ඔවුන් නගන හඬට අපි විරුද්ධ නොවන්නෙමු. අපගේ විරුද්ධත්වය ඇත්තේ මෙම චෝදනාව ඉස්ලාමයේ ගිණුමට බැර කොට එමගින් ඉස්ලාම් පිළිකුලක් හා ඉස්ලාම් භීතිකාවක් ජනනය කරන්නට දරන්නා වූ බොළඳ උත්සාහය පිළිබඳවය. ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (FGM) හා ස්ත්‍රී චර්ම ඡේදනය (Female Circumcision-FC) එකක් ලෙස සලකා සමාජය නොමග යවන අඳබාල හා අඥාන උත්සාහයක යෙදී සිටිති. එනිසා මෙම කරුණු පිළිබඳව ඇති ඓතිහාසික, ආගමික හා විද්‍යාත්මක තොරතුරු විමසා බැලීමකට ඔබට ආරාධනා කරන්නට තීරණය කළෙමු. අප සමග ඉදිරි තොරතුරු බුද්ධිමත් ව හා යථාර්ථවාදී ව විමසා බලන්නට කරුණාකර එක් වන්න.

    මෙම විමසුමට පුර්විකාවක් ලෙස නිවැරදි ඉස්ලාමීය මුලාශ්‍රයන් පදනම් කර ගෙන පැවසිය යුතුව ඇත්තේ ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය ඉස්ලාමීය ඉගැන්වීම් අනුව සහමුලින්ම තහනම් ක්‍රියාවකි. අංග ඡේදනය තහනම් ක්‍රියාවක් ලෙස මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (විශ්වයේ අධිපති එකම දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය එතුමා කෙරෙහි ඇති වේවා) පහත සඳහන් ප්‍රකාශනයෙන් පැහැදිලි වන්නේය.

    “අබ්දුල්ලාහ් බින් යzසීඩ් අල් අන්සාරි විසින් වාර්තා කර ඇති පරිදි මුහම්මද් ධර්ම දුතයාණන් විසින් සොරකම හා ශාරීරික අංග ඡේදනය තහනම් කරන ලදී.” (සහීහ් බුහාරී 3 : 654).

    එසේ නම් මෙම මාතෘකාව සම්බන්ධයෙන් ඉස්ලාමීය මුලාශ්‍රයන් හි අන්තර්ගත අනෙකුත් සාක්ෂි මොනවාද? මේ සියල්ල සවිස්තරව සාකච්ඡා කරන්නට කරුණාකර අප සමග එක් වන්න. ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ චර්ම ඡේදනය (Circumcision) පිළිබඳව සපයා ඇති අර්ථ විග්‍රහය පහතින් පරිවර්තනය කොට උපුටා දක්වා ඇත්තෙමු.

    “වෛද්‍ය ප්‍රතිකාරයක් වශයෙන් හෝ විශේෂයෙන් යුදෙව් දහමේ සහ ඉස්ලාමයේ ආගමික කටයුත්තක් ලෙස හෝ (තරුණ පිරිමියෙකුගේ හෝ කුඩා දරුවෙකුගේ) ලිංගාග්‍ර චර්මය කපා ඉවත් කිරීම, සම්ප්‍රදායික ක්‍රියාවක් ලෙස ගැහැනු දරුවෙකුගේ හෝ ස්ත්‍රියකගේ අභිශිෂ්ණිකාව (clitoris) කපා ඉවත් කිරීම සහ ඇතැම් අවස්ථාවන් හි අධරය (labia) යෙන්ද කොටසක් කපා ඉවත් කිරීම.”

    ඉහත ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ අර්ථ දැක්වීම අනුව චර්ම ඡේදනය (Circumcision) පිළිබඳව විග්‍රහ කිරීමේදී ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (FGM) ද එයට ඇතුළත් වන ක්‍රියාවක් ලෙස දක්වා තිබේ. මෙය සැබැවින්ම සාවද්‍ය අර්ථ දැක්වීමකි. නමුත් ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය පිළිබඳව සඳහන් කිරීමේදී එය සම්ප්‍රදායික ක්‍රියාවක් (Traditional Practice) ලෙස දක්වා තිබීම නිවැරදිය. ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය දහමක ඉගැන්වීම් හෝ දහමක සම්ප්‍රදායක් මත පදනම් වුවක් ලෙස මෙම අර්ථ දැක්වීම තුල කිසිම සඳහනක් නොමැත. ‘සම්ප්‍රදායික ක්‍රියාවක්’ ලෙස පමණක් හුවා දැක්වීමෙන් අදහස් වන්නේ එය අනාදිමත් කාලයේ පටන් පැවත එන සමාජ සම්ප්‍රදායක් පමණක් බවය. මෙම ලිපියෙන් අප අදහස් කරන්නේ විවිධ අර්ථ දැක්වීම් පිළිබඳව දීර්ඝ විග්‍රහයක යෙදෙන්නට නොවේ. නමුත් ජාත්‍යන්තරව පිළිගැනීමක් ඇති ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ පවා ස්ත්‍රී චර්ම ඡේදනය හා ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය පටලවා ගෙන ඇති ආකාරය ගෙන හැර දැක්වීම අපගේ අරමුණ විය. මෙම ලිපියෙන් අප විග්‍රහ කරන්නට අපේක්ෂා කරන්නේ ස්ත්‍රී චර්ම ඡේදනය හා ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය යන ක්‍රියාවන් දෙක පිළිබඳව ඉස්ලාමයේ මතය විග්‍රහ කොට ඉස්ලාමයේ අනුමත ස්ථාවරය පිළිබඳව ඇති විද්‍යාත්මක කරුණු ගෙන හැර දැක්වීමටය. මෙම ක්‍රියාවන් දෙක අතුරින් ඉස්ලාමයේ අනුමත ක්‍රියාව පිළිබඳව ඇතැම් ඉස්ලාමීය විද්වතුන් පවා ව්‍යාකුල අදහස් පළ කර තිබීම මෙම ප්‍රශ්නය පිළිබඳව ඇති මතය තව දුරටත් අවුල් කරන්නට හේතු වුවාට සැක නැත. බොහෝ යුරෝපීය රටවල් හි හා ඇමෙරිකානු එක්සත් ජනපදයේ වෙනත් නම් වලින් ස්ත්‍රී චර්ම ඡේදනය නීත්‍යනුකුල ලෙස සිදු කෙරෙන බව බහුතරයක් නොදන්නවා විය හැක. ස්ත්‍රී චර්ම ඡේදනය වැරදි අයුරින් සිදු කිරීම හේතුවෙන් එය ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය දක්වා හානිදායක අයුරින් කිරීම ඉස්ලාමීය රටවල ද සිදු වන බව නොරහසකි. මෙම වැරදි චර්යාව ඉස්ලාමීය රටවලට පමණක් සීමා කිරීම නිවැරදි ප්‍රකාශනයක් නොවේ. “Female Genital Mutilation – L.P. Cutner (Obstetrical and Gynecological Survey P 40 – 1985) නම් ග්‍රන්ථයේ සඳහන් පරිදි ස්ත්‍රී චර්ම ඡේදනය මෙන්ම එහි හානිකර හා වැරදි පිළිවෙත වූ ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය මුස්ලිම් හා මුස්ලිම් නොවන බොහෝ රටවල් වල පැතිර ඇති චර්යාවක් වන අතර අප්‍රිකානු බොහෝ රටවල්, මැලේසියාව, ඉන්දුනීසියාව, අරාබි රටවල්, යේමනය, පාකිස්තානය, බ්‍රසීලය, පේරු, චීනය, හා ඕස්ට්‍රේලියානු ආදීවාසීන් අතර මෙය බහුලව සිදුවන්නක් ලෙස විග්‍රහ කොට ඇත.

    ඉස්ලාමීය මතය විමසීමේදී අන්ත දෙකක සිට කරුණු ඉදිරිපත් කිරීමක් දකින්නට ඇත. එක් අන්තයක් ක්‍ෂමායාචක (Apologetic) කෝණයෙන් ඉස්ලාමයේ විවේචකයින් ඉදිරියේ අසරණ බවක් දක්වමින් සත්‍යය කියා පෑමට මැළි වී වික්ෂිප්තව කටයුතු කිරීමය. අනිත් කෝණය නම් ඉස්ලාමය පිළිබඳව ඇති වැරදි අවබෝධය පවා නිවැරදි යැයි පදනම් විරහිතව තර්ක කරමින් අන්තවාදීව කටයුතු කිරීමය. මෙම අන්ත දෙකම ප්‍රතික්ෂේප කරමින් නිවැරදි මුලාශ්‍රයන් හි සඳහන් සාක්ෂි පදනම් කර ගෙන සත්‍යය හෙළිදරවු වන පරිදි බුද්ධිමය හා යථාර්ථවාදී පිළිවෙතක් අනුගමනය කරමින් කරුණු ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය යැයි සිතන්නෙමු. පොදුවේ පිරිමි හා ස්ත්‍රී චර්ම ඡේදනය පිළිබඳව හා ස්ත්‍රී චර්ම ඡේදනය පිළිබඳව පමණක් සඳහන් හදීස් වදන් පහතින් උපුටා දක්වා ඇත්තෙමු. මෙහි හදීස් යන පදය යෙදී ඇති හෙයින් ඉස්ලාමයේ මුලාශ්‍රයන් පිළිබඳව කෙටි හැඳින්වීමකින් පසුව ඉදිරි කරුණු සාකච්ඡා කිරීම සුදුසු යැයි සිතන්නෙමු.

    ඉස්ලාමයේ ප්‍රධානතම මුලාශ්‍රය වන්නේ අල් කුර්ආනයයි. අල්ලාහ් (එකම සත්‍ය දෙවිඳුන්) ගේ සෘජු වදන් මෙහි අන්තර්ගත වන අතර ලොව අවසන් වනතුරු පවතින එකම සත්‍යය දිව්‍යමය මාර්ගෝපදේශය ද මෙය වෙයි. අල් කුර්ආනයට පසුව ‘සුන්නා’ නමින් හැඳින්වෙන මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (විශ්වයේ අධිපති සත්‍යය එකම දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය එතුමන් කෙරෙහි ඇති වේවා) ක්‍රියා, ප්‍රකාශන හා අනුමත කළ දෑ අඩංගු දෙවන මුලාශ්‍රය වැදගත් වෙයි. මෙම කරුණු අඩංගු ග්‍රන්ථ (උදාහරණ: සහිහ් බුහාරි, සහිහ් මුස්ලිම්, ඉබ්නු මාජා, තිර්මිදී, නසායි, යනාදිය) ඉස්ලාමිය විද්වතුන්ගේ දැඩි සුපරීක්ෂාවට භාජනය කොට පිළි ගත් වර්ගීකරණයක් අනුව සකස් කොට තිබේ. ‘හදීස්’ යන අරාබි වචනයට ප්‍රකාශනය, වදන, සිදුවීමක්, අලුත් යන අර්ථ ඇති අතර මෙම වචනය සුන්නා යන සංකල්පයට සමාන අරුත් ඇති පදයක් ලෙස භාවිත කෙරේ. සුන්නාව අන්තර්ගත ග්‍රන්ථ හඳුන්වන්නේ ද හදීස් ග්‍රන්ථ ලෙසිනි. අල් කුර්ආනය හා සුන්නාව ඉස්ලාමයේ ප්‍රධාන මුලාශ්‍රයන් වෙයි. පහතින් උපුටා දක්වා ඇත්තේ චර්ම ඡේදනය පිළිබඳව ඇති මුලාශ්‍ර පදනම් කර ගත් කරුණු කිහිපයකි.

    “මුහම්මද් ධර්ම දුතයාණන් (විශ්වයේ අධිපති සත්‍යය එකම දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය එතුමන් කෙරෙහි ඇති වේවා) ප්‍රකාශ කළ පරිදි කරුණු පහක් ෆිත්රා (යහ පැවැත්මට හා යහපතට දිරි ගන්වන්නා වු මිනිසාගේ මුල් ස්වභාවිකත්වය) හි අඩංගු වේ. ඒවා නම් චර්ම ඡේදනය, ලිංගාශ්‍රිත කෙස් බු ගෑම, උඩු රැවුල මුඩු කිරීම, කිහිල්ලෙහි කෙස් ඉවත් කිරීම හා නියපොතු කැපීම වේ.” (සහීහුල් බුහාරී 8 : 312 - 7 : 777 – 7 : 779 තිර්මිදි 140 - මුවත්තා 49 : 3)

    අරාබි පිරිමින්ගේ චර්ම ඡේදනය පිළිබඳව ගස්සාන් ප්‍රදේශයේ රජුව සිටි හෙරක්ලියස් විසින් පැවසු තොරතුරු සහීහ් බුහාරී 1 : 6 හි සඳහන් ව ඇත.

    ඉබ්‍රාහිම් නබි වරයා (එතුමා කෙරෙහි විශ්වයේ අධිපති සත්‍යය එකම දෙවිඳුන්ගේ ආශීර්වාදය හා සාමය අත් වේවා) අසුවන වියේහිදී චර්ම ඡේදනය කර ගත් බවත් මුහම්මද් ධර්ම දුතයාණන් ගේ (විශ්වයේ අධිපති සත්‍යය එකම දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය එතුමන් කෙරෙහි ඇති වේවා) කාලයේ ජීවත් වූ සෙයිඩ් බින් ජුබයිර් හා ඉබ්නු අබ්බාස් (විශ්වයේ අධිපති සත්‍යය එකම දෙවිඳුන්ගේ තෘප්තිය ඔවුන් දෙදෙනා කෙරෙහි ඇති වේවා) චර්ම ඡේදනය කර සිටි බවට සාක්ෂි සහීහ් බුහාරී 8 : 313 හි සඳහන් ව ඇත.

    චර්ම ඡේදනය කළ කොටස අනෙක් චර්ම ඡේදනය කළ කොටස සමග ස්පර්ශ වුවහොත් (එනම් ලිංගික සංසර්ගයෙහි යෙදුනොත්) නෑම අනිවාර්ය බව මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි විශ්වයේ අධිපති සත්‍යය එකම දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය එතුමන් කෙරෙහි ඇති වේවා) පැවසු මුලාශ්‍රයන් මේ සමග ඉදිරිපත් කොට ඇත්තෙමු. ඒවා නම් ‘මුවත්තා’ (2 : 73)(2 : 74)(2 : 75)(2 : 77)(20 : 161), ‘තිර්මිදි’ 166 සහ ‘මුස්ලිම්’ 159 වේ. මෙම මුලාශ්‍රයන් මගින් කාන්තා චර්ම ඡේදනය පිළිබඳ ඉස්ලාමීය සාක්ෂි ඉදිරිපත් වෙයි.

    නමුත් මෙම සාක්ෂීන් මගින් වුවද ස්ත්‍රී චර්ම ඡේදනය අනිවාර්ය කටයුත්තක් ලෙස සැලකීමට අවශ්‍ය උපදේශයන් අඩංගු වන්නේ නැත. ෂරියා පිළිවෙත තුළ ක්‍රියාවන් සංක්ෂිප්තව කොටස් පහකට වර්ගීකරණය කොට ඇත. සවිස්තරාත්මකව බලන්නේ නම් මෙහි අනු කොටස් කිහිපයක් ද ඇත. සංක්ෂිප්ත වර්ගීකරණය අනුව ඒවා අනිවාර්ය(Compulsory), ප්‍රශංසනීය (Commendable), අනුමත(Permissible), අනුමත වුවද අප්‍රිය සහගත(Detestable), සහ තහනම්(Forbidden) ආදී වශයෙන් වෙන් කොට ඇත. ඉදිරියේදී උපුටා දැක් වීමට ඇති හදීසයක් අනුව ද ස්ත්‍රී චර්ම ඡේදනය අනුමත ක්‍රියාවක් පමණක් වන අතර මෙම ක්‍රියාවලිය මුහම්මද් ධර්ම දුතයාණන්ට පෙර බොහෝ කලක සිට ආසියානු, අප්‍රිකානු හා දකුණු ඇමෙරිකානු ප්‍රදේශයන්හි සමාජ චර්යාවක් ලෙස පවත්වා ගෙන පැමිණ ඇති බව “Female Circumcision : Implications for North American Nurses” in Journal of Psychosocial Nursing by Rosemary Stewart Vol. 35 No. 4, 1997 Page 35” හි පැහැදිලිව විග්‍රහ කොට ඇත. ස්ත්‍රී චර්ම ඡේදනයේ වඩාත් අන්තගාමී පිළිවෙත හඳුන් වන්නේ පාරාවෝ වරුන්ගේ පිළිවෙත (Pharaonic Procedure) ලෙසය. මේ අනුව ස්ත්‍රී චර්ම ඡේදන සම්ප්‍රදාය මෝසස් නබි තුමාගේ (විශ්වයේ අධිපති සත්‍යය එකම දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය එතුමා කෙරෙහි ඇති වේවා) කාලයට පෙර සිටම ක්‍රියාත්මක වන්නක් බව පැහැදිලි කරුණකි.

    අල් කුර්ආනයේ ස්ත්‍රී චර්ම ඡේදනය පිළිබඳව සෘජු හෝ වක්‍ර සඳහනක් දක්නට නොමැත. සියලු සඳහන් දක්නට ඇත්තේ හදීස් මුලාශ්‍රයන් හි පමණි. පිරිමි චර්ම ඡේදනය වුව ද අල් කුර්ආනය පහළ වීමත් සමග ආරම්භ වූ සම්ප්‍රදායක් නොවේ. අපගේ මාතෘකාව කාන්තා චර්ම ඡේදනය වුවද පිරිමි චර්ම ඡේදනය පිළිබඳව ද ඉස්ලාමයට එරෙහිව විවිධ චෝදනා මතු කර ඇති හෙයින් ඒ පිළිබඳව යුදෙව් හා කිතුනු දහමේ මුලාශ්‍ර සඳහන් කරන කරුණු ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු. පිරිමි චර්ම ඡේදනයේ යහ හා අයහ පැති මෙහි විග්‍රහ කරන්නට අපේක්ෂා නොකරන නමුත් මෙයද ඉතා පැරණි සම්ප්‍රදායක් බවට ඇති සාක්ෂි ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. මේ බව බයිබලයෙන් උපුටා ගත් කොටස් පහතින් දක්වා ඇත.

    “දෙවියන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: ‘නුඹ ද, නුඹෙන් පසු පරපුරෙන් පරපුරට පැවතෙන නුඹේ පෙළපත ද මාගේ ගිවිසුම ආරක්ෂා කළ යුතුය. නුඹ ද, නුඹේ පෙළපත ද සමග පිහිටුවන, නුඹ රැක ගත යුතු මාගේ ගිවිසුම නම් මේ ය. එනම් නුඹලාගේ සියලු පිරිමි දරුවන් චර්ම ඡේදනය කළ යුතු ය. නුඹලා නුඹලාගේ ලිංගාග්‍ර චර්මය ඡේදනය කළ යුතු ය. මෙය නුඹලාත් මාත් අතර පිහිටු වන ගිවිසුමේ සංකේතය වන්නේය. නුඹලාගේ පෙළපත් වල සියලු පිරිමි දරුවන් දින අටක් වයස් වූ කළ ඔවුන් චර්ම ඡේදනය කළ යුතුය. ඔවුහු නුඹගේ ගෘහයෙහි උපන්නෝ වුව ද, නුඹේ පෙළපතට අයත් නැති විදේශිකයෙකුගෙන් මිලට ගත් අය වුව ද ඔවුන් චර්ම ඡේදනය කළ යුතු ය. ගෘහයෙහි උපන් තැනැත්තෝ වෙත් වා, නුඹ මිල දී ගත් තැනැත්තෝ වෙත් වා, ඔවුන් චර්ම ඡේදනය කළ යුතු ය. මාගේ ගිවිසුම සදාතන ගිවිසුමක් ලෙස නුඹේ මාංශයෙහි සලකුණු කරනු ලැබිය යුතුය. ලිංගාග්‍ර චර්මය ඡේදනය නොකළ අචර්ම ඡේදීත පිරිමි දරුවා ඔහුගේ පෙළපතින් නෙරපා දමනු ලැබේ. මන්ද, ඔහු මාගේ ගිවිසුම කඩ කර ඇති බැවිනි” ( උත්පත්ති 17 : 9-13).

    “තවද අට වන දා චර්ම ඡේදන පිළිවෙත පිණිස ඔවුහු දරුවා ගෙනැවිත් සිය පියාගේ නාමය අනුව ඔහුට සෙකරියස් යැයි නම් තබන්නට සැරසුණහ. එහෙත්, ඔහුගේ මව කතා කරමින් ‘එසේ නොවේ, ඔහුට ජොහන් යන නාමය තැබිය යුතු යැ’යි කීවා ය.” (ශුද්ධවර ලුක් 1 : 59-60)

    “උන් වහන්සේ චර්ම ඡේදන පිළිවෙත සඳහා අට දවස පිරුණු කළ, උන් වහන්සේ කුසෙහි පිළිසිඳ ගැනීමට පෙර දේව දුතයා විසින් දෙන ලද ‘ජේසුස්’ යන නාමය උන් වහන්සේට තබන ලද්දේ ය.” (ශුද්ධවර ලුක් 2 : 21)

    ස්ත්‍රී චර්ම ඡේදනය හා ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය පැහැදිලි වැටහීමකින් තොරව එකිනෙක වෙනස් අයුරින් අර්ථවත් වන අයුරු උපයෝගි කිරීම අප පොදුවේ දැක ඇති කරුණකි. එහෙයින් ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දී ඇති අර්ථ විග්‍රහය දෙස අපගේ අවධානය යොමු කරමු (Female Genital Mutilation World Health Organization Fact Sheet No. 241, February 2012).

    1. අභිශිෂ්ණිකා විච්ඡේදනය (Clitoridectomy): කොටසක් හෝ සම්පුර්ණයෙන් අභිශිෂ්ණිකාව ඉවත් කිරීම.

    2. සිඳලීම (Excision): කොටසක් හෝ සම්පුර්ණයෙන් අභිශිෂ්ණිකාව හා කනීය අධරය (Labia Minora) ඉවත් කිරීම. සමහර විටක ගරීය අධරය ද(Labia Majora) ඉවත් කිරීම.

    3. යෝනි අධරයන් ඡේදනය කර මසා දැමීම (Infibulation): අභිශිෂ්ණිකාව කැපීමකින් හෝ තොරව අධරයන් කපා මසා දැමීමෙන් යෝනි මාර්ගය කුඩා කිරීම.

    4. වෛද්‍ය හේතුවකින් තොරව කරන්නා වූ අනෙකුත් සියලු ස්ත්‍රී ලිංගේන්ද්‍රියට හානිකර ක්‍රියාවන්.

    ඉහත කරුණු සියල්ල ඉස්ලාමීය ඉගැන්වීම් අනුව සහමුලින්ම තහනම් කරන ලද පිළිවෙත්ය. ඉහත පිළිවෙත් සියල්ල ස්ත්‍රී චර්ම ඡේදනය යටතේ වර්ගීකරණය නොවන අතර මේ සියල්ල ලැයිස්තු ගත වන්නේ ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය යටතේය. ස්ත්‍රී චර්ම ඡේදනය කුමක් ද යන්න විමසා බලමු. පෙර සිට ක්‍රියාත්මක වූ සම්ප්‍රදායක් ලෙස මුහම්මද් ධර්ම දුතයාණන් ගේ කාල වකවානුව තුළත් ස්ත්‍රී චර්ම ඡේදනය සිදුවෙමින් පැවති අතර එම සම්ප්‍රදායේ වැරදි පැති නිවැරදි කරන්නට දුන් උපදෙස් පහත හදීස් වාක්‍යයෙන් ඉතාම පැහැදිළි ලෙස සඳහන් වී ඇත. මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වැරදි පිළිවෙත් ලෙස පෙර සඳහන් ක්‍රම හතරම ඉස්ලාමීය ඉගැන්වීම් තුළ අන්තර්ගත නොවන බව මෙයින් ඉතාම හොඳින් පැහැදිලි වන කරුණකි. උම්මු අතියියා නමැති කාන්තාව මුහම්මද් ධර්ම දුතයාණන් ගේ කාලයෙහි ස්ත්‍රී චර්ම ඡේදනය කරන්නියක් ලෙස කටයුතු කළ හෙයින් ඇය අමතා දුන් උපදේශයන් පහතින් දැක් වේ.

    “උම්මු අතියියා, ඔබ චර්ම ඡේදනය කරන විට ඉතා කුඩා කොටසක් පමණක් කපන්නට සීමා කරන්න. අභිශිෂ්ණිකා මුණ්ඩය (glans) ඉවත් කිරීමට කටයුතු නොකරන්න. මෙය ස්ත්‍රියට (බිරියට) ප්‍රසන්න වූ ද පුරුෂයාට තෘප්තිකර වූ ද වන්නේය” (තබරානි : දෙවන වෙළුම හදීස් අංක 722 - සුනාන් අබුදාවූද් : හදීස් අංක 2515 )

    මෙහි සඳහන් මුලාශ්‍රයක් වූ තබරානි : දෙවන වෙළුම හදීස් අංක 722 හදීසය පිළිබඳව විද්වතුන් ගේ මතය අනුව එහි දුර්වලතාවන් ඇති අතර සුනාන් අබුදාවූද් : හදීස් අංක 2515 නිවැරදි හදීසයක් ලෙස වර්ගීකරණය කොට ඇත.

    තවත් වැදගත් විග්‍රහයක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. මෙම ලිපියේ ඉහතින් සඳහන් කළ චර්ම ඡේදනය කළ කොටස අනෙක් චර්ම ඡේදනය කළ කොටස සමග ස්පර්ශ වුවහොත් (එනම් ලිංගික සංසර්ගයෙහි යෙදුනොත්) නෑම අනිවාර්ය බව මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි විශ්වයේ අධිපති සත්‍යය එකම දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය ඇති වේවා) පැවසු බව සඳහන් හදීස් පිළිබඳව විග්‍රහයක යෙදෙන සැමගේ ගෞරවයට හා පිළිගැනීමට පාත්‍ර වූ ප්‍රසිද්ධ ඉස්ලාමීය විද්වතෙකු වූ ඉබ්නු හජර් අල් අස්කලානි තුමාගේ අදහස් පහතින් උපුටා දක්වා ඇත්තෙමු. එතුමාගේ “ෆත්හ් අල් බාරි” නම් වූ මෙම ග්‍රන්ථය සියලු ඉස්ලාමීය විද්වතුන් අතර අල් කුර්ආනයට පමණක් දෙවැනි ලෙස සලකනු ලබන ප්‍රධානතම හදීස් ග්‍රන්ථය වූ සහීහ් අල් බුහාරි ග්‍රන්ථයේ විග්‍රහයකි.

    “චර්ම ඡේදනය කළ කොටස් දෙක යනුවෙන් මෙහි අදහස් වන්නේ ස්ත්‍රිය ගේ හා පුරුෂයාගේ ප්‍රජනන ඉන්ද්‍රියන් දෙකය. පිරිමි චර්ම ඡේදනය යනු ලිංගේන්ද්‍රියේ සංවේදී කිසිම කොටසක් ඉවත් නොකොට එහි ශීර්ෂකයේ ඇති සම ඉවත් කිරීමේ කටයුත්ත පමණි. ස්ත්‍රී චර්ම ඡේදනය යනු කුකුළාගේ කරමල අග කොටසට සමාන ලෙස පෙනෙන්නට ඇති අභිශිෂ්ණිකාව අග ආවරණය වී ඇති සම කොටස (Prepuce) පමණක් ඉවත් කිරීමය. (මෙමගින් ලිංගේන්ද්‍රියේ සංවේදී කිසිම කොටසක් කපා ඉවත් කරනු නොලැබේ).” (“ෆත්හ් අල් බාරි” ඉබ්නු අල් හජ්ර් අල් අස්කලානි).

    හදීස් පිළිබඳ ඉතා ප්‍රසිද්ධ ඉස්ලාමීය විද්වතෙකු වූ ඉමාම් මාලික් විසින් සකස් කරන ලද “මුවත්තා” නම් හදීස් ග්‍රන්ථයේ ශරීර අංග ඡේදනය පිළිබඳව මුහම්මද් ධර්ම දුතයාණන්ගේ උපදෙස් පදනම් කර ගෙන විග්‍රහයක යෙදෙමින් චර්ම ඡේදනයේදී වෛද්‍යවරයා ලිංගයේ කොටසක් කපා දැමුවහොත් දඬුවමක් ලෙස “දියා” නම් වූ වන්දියක් (Blood Money) දිය යුතු බව සඳහන් ව ඇත. මෙහි විස්තර “මුවත්තා” ග්‍රන්ථයේ හදීස් අංක 43.4A හි පැහැදිලි කොට ඇත.

    ඉහතින් ඉදිරිපත් කරන ලද කරුණු දෙස අවධානය යොමු කරන ඕනෑම කෙනෙකුට ස්ත්‍රී චර්ම ඡේදනය පිළිබඳව ඉස්ලාමයට එරෙහිව නගා ඇති චෝදනා සියල්ල සහමුලින්ම පදනම් විරහිත බව පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. කාන්තා චර්ම ඡේදනය කිසිසේත්ම ඉස්ලාමීය නීතිය තුළ අනිවාර්ය දෙයක් නොවන අතර ඈත අතීත සමාජ සම්ප්‍රදායක වැරදි පිළිවෙත නිවැරදි කොට එය කැමැති අයෙකුට අනුමත දෙයක් බවට පත් කිරීම පමණි මෙමගින් සිදු වී ඇත්තේ.

    බටහිර නීතියේ කාන්තා චර්ම ඡේදනය සඳහා අනුමැතිය තිබේද? එවැන්නක් කිරීමේ විද්‍යාත්මක අවශ්‍යතාවක් තිබේද? මෙවන් ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී ඉස්ලාමීය පිළිවෙතේ යථාර්ථය හා එහි විද්‍යාත්මක පදනම අවබෝධ කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. ඉස්ලාමයට එරෙහිව මතු කරනු ලබන චෝදනා විවෘත මනසකින් යථාර්ථවාදීව හා විද්‍යාත්මක පදනමකින් විමසා බැලීමේදී නිරතුරුවම සිදු වී ඇත්තේ ඉස්ලාමයේ සත්‍යතාව තහවුරු වීම පමණි. මෙම ප්‍රශ්නයේදීත් සහතික වශයෙන්ම සිදු වී ඇත්තේ එයම බව ඉදිරි තොරතුරු මගින් ඔබට අල්ප මාත්‍ර සැකයකින් තොරව සහතික වනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු.

    බටහිර නීතියේ හෝ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ‘ස්ත්‍රී චර්ම ඡේදනය’(Female Circumcision) යන වචනය පිළිබඳව සඳහනක් නොමැති බව සත්‍යයකි. බොහෝ විට එය ‘ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය’ (Female Genital Mutilation-FGM) ට ආදේශයක් ලෙසත් යෙදෙන නිසා ඔවුන් එම වචනය යෙදීමෙන් වැළකී සිටිනවා විය හැක. සැබැවින්ම ඔවුන් ඉස්ලාමීය පිළිවෙත එලෙසින්ම නීත්‍යනුකුලව හා වෛද්‍ය ක්‍ෂේත්‍රයේ අනුමත පිළිවෙතක් ලෙස වෙනත් නම් වලින් සිදු කරමින් සිටිති. මෙය ඉංග්‍රීසි බසින් Labiaplasty, Labioplasty, හෝ Hoodectomy යනුවෙන් හැඳින් වේ. මෙ මගින් සිදු කරන්නේ කුමක් ද යන්න වටහා ගැනීමට කරුණාකර පහත සඳහන් වෙබ් අඩවි වලට පිවිසෙන්න.

    www.plasticsurgeon.com සහ

    www.gynaecologists.co.uk/clitoral_hoodectomy.html.

    මෙම තොරතුරු අනුව Labiaplasty හඳුන්වා දී ඇති ආකාරයේ සාරාංශය පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

    “මෙම ශල්‍යකර්ම මගින් කනීය අධරය (Labia Minora) හා එය වටා ඇති සමෙන් හා අභිශිෂ්ණිකාව වටා ඇති සමෙන් කොටසක් ඉවත් කිරීම සිදු වේ. බොහෝ ස්ත්‍රීන්ට අභිශිෂ්ණිකාවේ උඩ කොටස වටා ඇති සම තම ලිංගික ක්‍රියාවලියට බාධාවක් හෝ යෝග්‍ය නොවන්නක් බවට පත් වෙයි. එහෙයින් එය ඉවත් කිරීම ඔවුන් ගේ ලිංගික සෞඛ්‍යයට වඩාත් උචිත දෙයක් වෙයි. මෙම අභිශිෂ්ණිකාවේ උඩ කොටස වටා ඇති සම ලිංගික ක්‍රියාවලියේදී අපහසුතාවක්, වේදනාවක් මෙන්ම ලිංගික සංවේදීතාව අඩුවීමට ද හේතු වෙයි. අභිශිෂ්ණිකාවේ උඩ කොටස වසා ඇති සම වටා විවිධ වෛරස බැක්ටිර්යා ආදී විෂබීජ මෙන්ම අපවිත්‍ර දෑ එකතු විය හැක. මේවා සෝදා ඉවත් කිරීම එතරම් පහසු නැත. මෙ මගින් විවිධ ආසාධන ඇති විය හැකි අතර දුගඳ ඇති වීමට ද හේතු විය හැක. Clitorial Phimosis නම් රෝගය මෙ මගින් ඇති වන්නකි.”

    බටහිර පිළිවෙත හා ඉස්ලාමීය පිළිවෙත අතර ඇත්තේ නාමික වෙනස් කමක් මිස සිදු කරනු ලබන ක්‍රියා පිළිවෙතේ වෙනස් කමක් නොවන බව ඉහත විස්තර අනුව පැහැදිලිව ඔප්පු වන කරුණකි. මේ සියලු කරුණු පිළිබඳව විචාරශීලී ව හා බුද්ධිමත් ව මධ්‍යස්ථ විමසුමක යෙදී පදනම් විරහිතව දහම් අපහාසයට පත් කරවන වෛර චින්තනයෙන් මිදී අන්‍යෝන්‍ය අවබෝධ යෙන් යුක්තව ජීවත් වන්නට අදිටන් කර ගනිමු.